fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"සෞඛ්‍ය සේවයේ බෙහෙත් වංචා විතරක් නෙවෙයි, වාහනත් නැතිවෙලා"

    “සෞඛ්‍ය සේවයේ බෙහෙත් වංචා විතරක් නෙවෙයි, වාහනත් නැතිවෙලා”

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බෙහෙත් වංචා පමණක් නොව, වාහන ද අහිමි වී ඇති බව විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    බෙහෙත් වංචාව ගැන බොහෝ දෙනා කතා කළත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 679ක් අතුරුදහන් වී ඇති බවට ජාතික විගණන කාර්යාලය ප්‍රකාශ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    එසේම වාහන 240ක් ගැන යම් තොරතුරු සොයා ගෙන ඇති මුත් අමතර තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශය විගණන කාර්යාලයට බාර දී නොමැති බවත් තවත් වාහන 439ක් ගැන කිසිදු තොරතුරක් නොමැති බවත් විපක්ෂ නායකවරයා කීය.

    සමගි ජන බලවේගය විශාල අභියෝග රැසක් මැද පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් දැවැන්ත සටනක් සිදු කර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන ජාවාරම්කාර ගණුදෙනු, අල්ලස දූෂණය වංචාව ගැන සිදු කළ හෙළිදරව්ව නිසා හොරු ටික අධිකරණයට ගෙනවිත් ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි.

    මෙවැනි අක්‍රමිකතා රැසක් රාජ්‍ය ආයතන තුළ ඇති නිසා මේ සෑම වංචාවක්ම සොරකමක්ම ගැන පැහැදිලි පරීක්ෂණ පවත්වා අධිකරණය හමුවට ගෙන එන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

    මෙරට තුළ කාලයක් බයිය නායකයෝ සිටි බවත් මේ වන විට රටේ මුදල් වියදම් කර ලෝකය වටේ සවාරි යන සවාරි නායකයෝ සිටින බවත් මීට අමතරව වැඩ බැරි කයිය නායකයෝ සිටින බවත් ඔවුන්ට රටට අගයක් එකතු කළ නොහැකි වුවත් කයිවාරුව හරහා විවේචන කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    බයිය නායකයකු පත් කිරීම නිසා රට විනාශ වී ඇති මොහොතක සවාරි නායකයා ලෝකෙ වටේ රවුම් ගැහුවත් රටට තඹ සතයක්වත් ලබා නොගත් බවත් ඒ අතර තමන්ගේ පක්ෂයට ලැබෙන මුදල් වියදම් කර බොරු සෝබන සංදර්ශන පවත්වා මිනිසුන් ගෙන්වා කයිය ගහන නායකයෝ සිටින බවත් රටට අවශ්‍ය බයිය නායකයෝද සවාරි නායකයෝද කයිය නායකයෝද එසේ නොමැති නම් වැඩ කරන නායකයෝද කියා ජනතාව තීන්දු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 157 වැනි අදියර යටතේ අද හම්බන්තොට කිරින්ද මුස්ලිම් විද්‍යාලයට රුපියල් ලක්ෂ 11ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

    රට ඉදිරියට ගෙන යාමට නම් රාජ්‍ය හා පෞද්ගලික හවුල් ගිවිසුම් කේන්ද්‍ර ගත වූ වැඩසටහන්වලට යා යුතු බවත් රටේ මූල්‍ය හා ප්‍රාග්ධන හිඟයක් හා සෘජු විදේශ ආයෝජන හිඟයක් ඇති නිසා මෙම සංකල්පය නිවැරදිව නිර්ව්‍යාජව විනිවිදභාවයෙන් යුක්තව ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ ය.

    සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 157 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1712ක් වැය කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.