fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආනයන සීමා ඉවත් කරන හැටි මහබැංකු අධිපති කියයි

    ආනයන සීමා ඉවත් කරන හැටි මහබැංකු අධිපති කියයි

    විනිමය අනුපාත ස්ථාවරව පවත්වා ගනිමින් ආනයන සීමා ක්‍රමිකව ඉවත් කරන බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසා ඇත්තේ ආනයන සීමා ඉවත් කිරීමට නොව, ක්‍රමානුකූලව ඒවා ඉවත් කළ හැකි වැඩපිළිවෙළක් සකස් කර පෙන්වන ලෙස යැයි ද ඔහු කියාසිටී.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවට සහභාගී වෙමින් මහබැංකු අධිපතිවරයා මේ බව කීය.

    ශ්‍රී ලංකාවේ ණය තිරසාර කිරීම සඳහා අවශ්‍ය ඉලක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විසින් විස්තීරණ ණය අනුමැතියට අදාළ ලේඛනයේ සඳහන් කර ඇතැයි හෙතෙම අවධාරණය කළේය.

    එමෙන්ම ආර්ථික තත්ත්වය තිරසාර මට්ටමට ළඟා කර ගැනීම වෙනුවෙන් ඒ ඒ රටවල් සහයෝගය දෙන බවට සහතිකයක් දී ඇතැයිද හෙතෙම කියාසිටී.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

    “ණය ප්‍රතිව්‍යුහගත නොකලානම් වසරකට ඩොලර් බිලියන 06 බැගින් වසර ගණනක් යනතුරු විදේශ ණය බරක් අප මත තිබුණා. එය ගෙවීමට අපහසු නිසා තමයි ණය ගෙවීම තාවකාලිකව නවතා ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමට මේ ක්‍රියාවලියේ යෙදෙන්නේ. එහිදී අපට මේ තිබෙන ආකාරයට ගෙවීමට නොහැකි නිසා අපට ණය ලබාදුන් වාණිජ ආයතන සහ පුද්ගලික අංශ සහ ඒ ඒ රජයයන්ගෙන් අප ඉල්ලා සිටිනවා අපට මේ සඳහා සහනයක් ලබා දෙන ලෙස.

    එම ක්‍රියාවලියේ පළමු පියවර තමයි ණය හිමියන් ලබාදුන් මූල්‍ය සහතිකය. අපේ ණය තිරසාර කිරීම සඳහා අවශ්‍ය ඉලක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලේඛනයේ තිබෙනවා. ඒ තිරසාර මට්ටමට ළඟා කර ගැනීම වෙනුවෙන් ඒ ඒ රටවල් සහයෝගය දෙන බවට සහතිකයක් දී තිබෙනවා.

    ඊළඟ පියවර වන්නේ ඒ සහතිකය අනුව සාකච්ඡා කර අපට වසරකට බිලියන 06 බැගින් ගෙවීමට තිබෙන ණය මේ කාලයේ ගෙවිය නොහැකියි. නමුත් යම්කිසි සහනයක් ඇතිව දීර්ඝ කාලීනව ගෙවීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටිමයි.

    මෙතන තිබෙන්නේ අප නැවත ණය ගන්නේවත් ගෙවන්නේවත් නෑ කියන කාරණය නොවෙයි. ණයක් ලබා ගත් විට එය ගෙවීමට අපට වගකීමක් තිබෙනවා. එසේ නොවුනහොත් නැවත කිසිවෙක් ණය ලබා දෙන්නේ නෑ. මෙහිදී සිදු වන්නේ ණය ගෙවීමට අපට හැකියාවක් නොමැති නිසා ගෙවීම පැහැර හැරීම වෙනුවට සහන ක්‍රමයකට ගෙවීමට අවස්ථාවක් දෙන්න කියා ඉල්ලා සිටිමයි.

    උදාහරණයක් ලෙස දැනට අපට බිලියන 50ක් වසර දහයෙන් ගෙවීමට තිබෙනවා නම් අපි කියනවා ඊට අවුරුදු විස්සක, තිහක හෝ ඊට වැඩි කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

    වසරකට ගෙවීමට ඇති විදේශ ණය වාරිකය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5%කට වඩා අපට ගෙවීමට හැකියාවක් නෑ. ඒ අනුව එම ගණනට අඩු කර දෙන ලෙසයි ඉල්ලා සිටින්නේ. ඉතිරිය දීර්ඝ කාලීනව ගෙවීම සඳහා තමයි දැන් සාකච්ඡා පවත්වන්නේ.”

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.