fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"පරණ සෙල්ලම් ආයේ බැහැ"- ජනපති

    “පරණ සෙල්ලම් ආයේ බැහැ”- ජනපති

    “මගෙත් එක්ක ගොඩක් දුරගිය අය, මගේ ප්‍රතිපත්ති හරි කිව්ව අයත් දැන් මට විරුද්ධව කතා කරනවා. ඉතිං විරුද්ධව හිටපු අය එකතු වෙන එක පුදුම විය යුතු දෙයක් නොවෙයි. අපි එකක් මතක තියා ගත යුතුයි. අපි දැන් අමාරු තැනක ඉන්නෙ. පරණ සෙල්ලම් ආයේ කරන්න බැහැ. පරණ සෙල්ලම් දැම්මොත් ආයෙත් වැටෙනවා. ඒ නිසා අතීතය අමතක කර අපි ඉදිරියට යමු.අපි හැමෝම වැරදි කළා. දැන්වත් මේ සමඟ එකඟ වෙලා අපට සහාය ලබා දෙන්න.” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ (23) පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

    දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    එම පනතට අදාළ කැබිනට් අනුමැතිය මේ වන විටත් ලබාදී ඇති බව ජනාධිපතිවරයා අනාවරණය කළේය.

    ඉදිරියේදී විපක්ෂ නියෝජිතයන් සමඟ සාකච්ඡා කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද හෙතෙම පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කියා සිටියේය.

    “අද මෙම අවස්ථාවට සහභාගීවීම පිළිබඳ සියලු මාධ්‍ය හිතවතුන්ට මම ස්තූතිවන්ත වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම පිළිබඳ ඔබව දැනුවත් කිරීමට මෙම අවස්ථාවට එක්වන ලෙස මම ඔබගෙන් ඉලීමක් කළා.

    අපි මීට වසරකට පෙර බංකොලොත් රටක් බවට පත් වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අපේ ණය හිමියන්ගේ සහයෝගය ඇතිව අපගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපට සිදු වූ පළමු අවස්ථාව මෙයයි. මෙය ආරම්භය පමණයි. IMF සහයෝගය පිළිබඳ මූල්‍ය සහතිකය ලැබීමෙන් පසු අපේ රට තවදුරටත් බංකොලොත් රාජ්‍යයක් ලෙස සලකන්නේ නැහැ. දැන් අපි මීළඟ අදියරට යා යුතුයි.

    ඒ අපගේ සියලුම ණය හිමියන් එනම් බහුපාර්ශ්වික ණය හිමියන් සහ ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීමයි. පුද්ගලික ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීම වඩාත් දුෂ්කරයි. නමුත් අපි ආපසු හැරී නොබලා විශ්වාසයෙන් යුතුව ඉදිරියට යා යුතුයි. එබැවින් මෙය අවසානය නොවෙයි. එක් අතකින් ආරම්භය පමණයි. අපි ඊළඟට ණය දෙන්නන් සමඟ ද සාකච්ඡා කළයුතුයි.
    ණය හිමියන් සමඟ සාකච්ඡා කරන අතරම, අපට වසර හතරක වැඩසටහනක් ද තිබෙනවා. ඒ නිසා තමයි මම පාර්ලිමේන්තුවෙන් ඉල්ලුවේ මේ ගිවිසුම සඳහා මට අනුමැතිය ලබා දෙන්න කියලා. එය නීතියෙන් කිරීමට මට අවශ්‍ය නැහැ. නමුත් මෙම ගිවිසුම සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීම අපිව තවත් ශක්තිමත් කරනවා. ජනතාව ඒ සඳහා දැනටමත් ඡන්දය ලබා දී තිබෙනවා.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම ගිවිසුමේ ඇතුළත් මූලධර්මය රට පිළිගෙන ඇති බව ණය හිමියන්ට පෙන්වීමට අවශ්‍ය වෙනවා.
    එබැවින් පළමුව, එය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් වන නමුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පමණක් සීමා නොවී එය අපගේ ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමක් බවට පත්කරගත යුතුයි.

    පළමුව, අපට මූල්‍ය ස්ථාවරත්වයක් තිබෙනවා. අපි මෙම ක්‍රියාවලිය හරහා අපගේ ආදායම වැඩිකරගත යුතුයි. මෙය ඉතා දුෂ්කර යුගයක් වන අතර අපි රජයේ වියදම් ස්ථාවර කරගත යුතුයි. මන්ද එය රජයේ වියදම්වල ස්වභාවය සහ අපට ඇති ආදායම විස්තර කරන නිසයි
    අපේ ඉලක්කය වන්නේ රජයේ අයවැය වඩාත් හොඳින් පාලනය කිරීමයි. නමුත් මෙය අපට ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කිරීම හා ආදායම් වැඩි කිරීමක් තහවුරු කරනවා. අප විසින් සිදු කරන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මගින් අපට ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමට හැකි වන බව අප මතක තබා ගත යුතුයි.

    අපි විවිධ ආයෝජන ක්ෂේත්‍ර, නිෂ්පාදන සඳහා අමතර විදේශ ආයෝජන පිළිබඳව ද සොයා බලමින් සිටිනවා. එයින් අදහස් වන්නේ අප ඉදිරියටම යා යුතු බවයි.
    දෙවනුව කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය නවීකරණය කිරීම සිදු කළයුතුයි. තෙවනුව ශ්‍රී ලංකාව කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කළයුතුයි. සංචාරක කර්මාන්තය, ඩිජිටල් ආර්ථිකය, හරිත ආර්ථිකය නිසැකවම වැඩිදියුණු කිරීම සහ පුළුල් කිරීම සිදු කළ යුතුයි. ඒ තුළින් අපිට නව ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට හැකි වෙනවා.
    මගේ අරමුණ තවත් වසර 25කින් ඒ කියන්නේ 2048 වන විට ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් කිරීමයි. එකතැන පල් වූ ආර්ථිකයක් සමඟ අපට ඉදිරියට යා නොහැකියි. අපේ රටේ සිදු වූ සියලු ගැටලු මේ ප්‍රශ්නයට සම්බන්ධ බව අප සිහිතබා ගත යුතුයි.
    1971 දී විරැකියාව සම්බන්ධව මතු වූ ගැටලුව මෙන්ම, 1983 භාෂාව පමණක් නොව, දෙමළ තරුණයින්ට රැකියාවක් නොතිබීම නිසා ගැටලු මතු වුණා. 1989 දී ද සිදු වුයේ එයයි. අපට ඕනෑවට වඩා ප්‍රශ්න තිබුණා. ආර්ථික වර්ධනයක් නොමැතිකම හා අස්ථාවරත්වය හමුවේ ලේ වැගිරීම් සිදු වුණා. දැන් අපිට අලුතින් පටන් ගැනීමට අවස්ථාව තිබෙනවා.
    එය ඓතිහාසික ක්‍රියාවලියක්. මම ඒ සඳහා ඔබ සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරනවා. මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු ඕනෑම අවස්ථාවක නිලධාරින් සමග කතා කර දැනගැනීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව තිබෙනවා.

    නමුත් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය වන්නේ මෙම ගිවිසුම සමග අප ඉදිරියට යනවාද, නැද්ද කියන කරුණ සමග බව අමතක නොකළ යුතුයි. අප එසේ නොකළහොත් අනාගත පරපුර අපට ශාප කරාවි. එබැවින් අපගේ ආර්ථිකය තුළ මෙම දීර්ඝකාලීන වෙනස්කම් සිදු කරමින් සියලුදෙනාගේ ජීවිත පහසු කර ගැනීමට සහයෝගය ලබාදෙන ලෙස මම ඉල්ලා සිටිනවා.

    අපි පළමු කාර්යය ලෙස මෙම ගිවිසුම අනුමත කරලා, ඊළඟට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යමු. ණය ගෙවන විදිහ දැන ගන්න පුළුවන් වෙන්නෙ ඊට පසුව තමයි. අපේ වැඩසටහන් අවසන් කරලා නැහැ. ඇයි අවසන් කළේ නැත්තෙ? ඒක දේශපාලනයට යටවුණා. එහෙම නැත්නම් ජනමතයට යට වුණා. ජනමතය ඇති කළේ ජනමාධ්‍යයයි. මේ වතාවේ මෙම වැඩසටහන සාර්ථක කර ගන්න මාධ්‍යයේ සහාය ලබා දෙන්න.

    එපමණක් නොවෙයි එම්සීසී ප්‍රදානය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට යන විට ඇතැම් පාර්ශ්ව එමගින් රට බෙදන බවට චෝදනා කළා. අයිඑම්එෆ් එන විට කිව්වා අපි බටහිරට යටත් වෙනවා කියලා. ඉතිං මේ විදියට කරගෙන යන්න අමාරුයි. ඒ නිසයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග 17 වැනි වැඩසටහන සාර්ථක කර ගැනීමට එක් වෙන්න කියලා මාධ්‍යවලින් ඉල්ලා සිටියේ.
    මේ ක්‍රියාවලිය ඉතාම දුෂ්කරයි. අපි හැම දෙනාටම එය දැනෙනවා. මෙය අවුරුදු හතරක ක්‍රියාවලියක්. එය 2026 දී අවසන් වෙනවා.
    මගෙත් එක්ක ගොඩක් දුරගිය අය, මගේ ප්‍රතිපත්ති හරි කිව්ව අයත් දැන් මට විරුද්ධව කතා කරනවා.
    ඉතිං විරුද්ධව හිටපු අය එකතු වෙන එක පුදුම විය යුතු දෙයක් නොවෙයි. අපි එකක් මතක තියා ගත යුතුයි. අපි දැන් අමාරු තැනක ඉන්නෙ. පරණ සෙල්ලම් ආයේ කරන්න බැහැ. පරණ සෙල්ලම් දැම්මොත් ආයෙත් වැටෙනවා. ඒ නිසා අතීතය අමතක කර අපි ඉදිරියට යමු.
    අපි හැමෝම වැරදි කළා. දැන්වත් මේ සමඟ එකඟ වෙලා අපට සහාය ලබා දෙන්න.

    මේ ලැබුණු මුදල් අරගෙන මේ මාසේ පඩි ගෙවනවා. ඒක හොරකම් කිරීමක් නෙමෙයි. හොරකම් කියන කතාව නිසානෙ මේවා නැති වුණේ. එවැනි කතා පතුරවන්න එපා. ඔය කියන අය මීට වඩා හොරකම් කරනවා. ඔය ඉන්න අයට වඩා මගේ වැටුප අඩුයි. අපි ආකල්ප වෙනස් කරගත යුතුයි.

    මං ආවේ හොරු ආරක්ෂා කරන්නයි කියලා චෝදනා කළා. නමුත් අපි අයිඑම්එෆ් සමඟ සාකච්ඡා කර දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත ගෙන එනවා. විපක්ෂය කෑ ගැහුවට කිසිවක් ගෙනාවේ නැහැ. අධිකරණ ඇමැති මේ ගැන විපක්ෂය සමගත් සාකච්ඡා කරයි.
    අප මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ සෑම පක්ෂයකම සහාය ලබා ගන්නයි. කාටවත්ම මේකට විරුද්ධ වෙන්නත් බැහැ. අලුත් නීති කිහිපක් ගෙන ඒමටත් තිබෙනවා. නව පියවර ගණනාවක් අපි අරන් තිබෙනවා.

    මාධ්‍ය මර්දනය කරන්න අපට වුවමනා නැහැ. මාධ්‍යයෙන් වැඩියෙන්ම බැනුම් අහන්නෙත් මම. මාධ්‍යය නැති වුණෙත් මටයි. මාධ්‍ය සඳහා පනවා තිබූ අපරාධ නීතිය ඉවත් කළෙත් මමයි. තොරතුරු දැන ගැනීමේ අයිතිය ලබා දුන්නෙත් මමයි. ස්වාධීන කොමිෂන් සභා තුන් වතාවක් පාර්ලිමේන්තුවට ගෙනාවා. ඉතිං කොහොමද මම මාධ්‍ය මර්දනය කරන්නෙ.
    ජාතික ප්‍රශ්නය විසඳන්න කියනවා. නමුත් මම ඒ කටයුතු සිදු කරද්දි සුමන්තිරන් මන්ත්‍රීතුමා සමඟ එකතු වෙලා අනික් ප්‍රශ්න නැති කරන්න හදනවා කියලා චෝදනා කරනවා. එසේ චෝදනා කිරීම සුදුසු නැහැ කියා මාධ්‍යවල කවුරුත් කිව්වෙ නැහැ. ජාතික ප්‍රශ්නය විසඳීමට කටයුතු කරන බව මම කලින් කියලා තිබෙනවා. ඒකට කිසිම මාධ්‍යයක් විරුද්ධ වුණේ නැහැ. ඒ සඳහා සියලුම දෙනා පාර්ලිමේන්තුවේදී එකඟ වුණා. ඒක මුවාවෙන් ජාතිවාදය ඇති කරන්න එපා. එක් මාධ්‍ය ආයතනයක් ජාතිවාදී වැඩපිළිවෙළක් ගෙන යනවා. එකම දේ දවස් හතරක් විකාශය කළා. ඒ අතරතුර එක ද්‍රවිඩ වැසියෙකුට කවුරුන් හෝ පහර දුන්නා නම් මොකද වෙන්නේ.

    ආණ්ඩුවට විරුද්ධ උද්ඝෝෂණ පෙන්නුවට කමක් නෑ, නමුත් එහි තව පැත්තකුත් තිබෙනවා කියලා පෙන්විය යුතුයි. උද්ඝෝෂණ පෙන්වන්න එපා කියා හෝ මට හොඳ කියන ඒවා විතරක් දාන්න කියා මම කියන්නේ නැහැ.”

    මෙහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය පමණක් නොව ලාභ ලබන රාජ්‍ය ව්‍යවසාය ද ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කර ඇත්ද කියාය.
    ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මෙසේ පැවසීය.

    “ඇයි රජය ව්‍යාපාරවල ඉන්නෙ. ඒක රජයේ වැඩක් නොවෙයි. ඩී එස් සේනානායක මැතිතුමාගේ කාලයෙ ඔය වගේ වැඩ තිබුනේ නැහැ. ඒත් රටේ සල්ලි තිබුණා. එදා එංගලන්තයටත් ණය දීලා ගල්ඔය ව්‍යාපාරය හදන්නත් රටේ සල්ලි තිබුණා.
    දැන් අපි චීනයෙන් සල්ලි ඉල්ලා ගන්නවා මොරගහකන්ද හදන්න. රාජ්‍ය ආයතන ව්‍යාපාර කළ යුතුයි කියලා කුමන රටේද නීතියක් තිබෙන්නේ. අපි යන්නේ රටක් හැටියට සීග්‍රයෙන් දියුණු වෙන්න. අපි විතරයි රටක් හැටියට මේ රාජ්‍යය ව්‍යාපාර කරන්න ඕන කියලා කියන්නේ.
    රජය තිබෙන්නේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න සහ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නයි. අද හොඳ අධ්‍යාපන ක්‍රමයක් තියෙනවද? අපි අධ්‍යාපනයට වඩා ගිය අවුරුද්දෙ ඛනිජ තෙල් සංස්ථාවට ගෙවලා තියෙනවා. අධ්‍යාපනයට වඩා විදුලි බල මණ්ඩලයට ගෙවලා තියෙනවා. ඩී එස් සේනානායක අගමැතිවරයා කාලයෙ මේ එකක් වත් තිබුනේ නැහැ. පෞද්ගලික අංශය විසින් ව්‍යාපාර කරනකොට එකේ බදු රජය ලබාගන්නවා.එංගලන්තෙ ටෙලිකොම් එක අයිති කාටද. පෞද්ගලික අංශයට. ප්‍රංශයේත් ඇමරිකාවේත් එහෙමයි. අපිත් එලෙස දියුණු විය යුතුයි. නැත්තම් උතුරු කොරියාව වගේ වැටෙන්න ඕනේ. ඒ දෙකෙන් මොකක්ද කැමති කියලා මට කියන්න.”

    මෙහිදී අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා,

    “ජනාධිපතිතුමා අගමැතිවරයා වශයෙන් සිටියදී 2002 වසරේදී රාජ්‍ය මූල්‍ය කළමනාකරණ විනය සකස් කිරීම සඳහා 2003 අංක 3 දරණ මූල්‍ය විනය කළමනාකරණ පනත ඉදිරිපත් කළා. මෙම පනතේ ප්‍රධාන අරමුණු තුනක් තිබුණා. 2006 වන විට අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස 5% දක්වා අඩු කිරීමටත් ඉන්පසුව බලයට පත්වන රජයන් මේ 5% මට්ටම ඉදිරියටත් පවත්වාගෙන යාමටත් මෙම පනත මගින් ප්‍රතිපාදන සැලසී තිබුණා.9

    2013දී රාජ්‍ය නොපියවූ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 65% දක්වා අඩු කර එතැන් සිට හැටපහේ සීමාවේ පවත්වාගෙන යාම, තුන්වන කරුණ රජය ණය වන විට ණය විය හැක්කේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% පමණක් විය යුතුය යන්නයි. මේ කරුණු තුන ඇතුලත් කරලා එතුමා අගමැතිවරයා වශයෙන් එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සම්මත කළා. නමුත් අවාසනාවට 2004දී ජනතාව තීරණය කළා එම ආණ්ඩුව හොඳ නැහැ කියා, ඒ වෙනුවට වෙනත් ආණ්ඩුවක් පත්කරගත යුතුයි කියලා . එදා පත්‍ වූ ආර්ථික උපදේශකවරුන් පාර්ලිමේන්තුවට කියලා පනත නැවත සංශෝධනය කළා. එම නිසා එම ආර්ථික ඉලක්ක වලට යාමට අපට නොහැකි වුණා රජය ගන්න තීන්දු ජනප්‍රිය නොවෙන්න පුළුවන්. අසීරු තීන්දු නොගත්තොත් රටක් හෝ අනාගතයක් නැහැ කියලා ජනාධිපතිතුමා නිරන්තරයෙන්ම කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කළා. මේ සියලුම ගිවිසුම් කිසිවක් සඟවන්නේ නොමැතිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ හැර වෙන විකල්පයක් තිබෙනවා නම් කවුරුන් හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. එයිනුත් රජයට විශාල මුදලක් ඉතිරි වෙනවා. එහෙම වුණොත් ප්‍රංශයේ ලසාඩ් සමාගමට ගෙවන්න තිබෙන මුදල් ගෙවන්න අවශ්‍ය නැහැ. ණයබරින් බේරෙන්න වෙන ක්‍රමයක් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම්, එය අපට ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි හිතනවාට වඩා මෙය සංකීර්ණ ගැටලුවක්. මෙම ගැටලුව සාධාරණ ලෙස සමාජගත කරන්න උදව් කරන්න.”

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.