fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාස්කු ප්‍රහාරය ගැන හරීන්ගේ තාත්තට කලින්ම කිව්වේ සීඅයිඩියෙන්!

    පාස්කු ප්‍රහාරය ගැන හරීන්ගේ තාත්තට කලින්ම කිව්වේ සීඅයිඩියෙන්!

    ප්‍රහාරයක් එල්ලවන බැවින් පාස්කු දින පල්ලි නොයන ලෙස රෝහල්ගතව සිටි සිය පියා තමාට පැවසූ බව සදහන් කරමින් පාස්කු ඉරිදා එල්ලවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව එවකට ඇමතිවරයෙක්ව සිටි හරීන් ප්‍රනාන්දු මහතා පැවැත්වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන විමර්ශනයේදි ඒ සම්බන්දයෙන් වැදගත් තොරතුරු රැසක් හෙළිවෙමින් ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

    හරීන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ පියා අතර ඒ වන විට යම් හිත් අමනාපයක් තිබී ඇති බවත් පාස්කු ඉරිදා දේවස්ථානවලට පහරදීම ගැන ප්‍රහාරයට පෙර දිනයේ ඔහුගෙ පියා විසින් සදහන්කර ඇත්තේ හරින් ප්‍රනාන්දු මහතාගේ වැඩිමහල් සහෝදරියට බවත් හෙළිවී ඇත. පාස්කු ප්‍රහාරයෙන් පසු දින සවස සහෝදරිය විසින් සිය පියා පෙර දින පැවසූ කථාව හරීන් ප්‍රනාන්දු මහතාට පවසා ඇතැයිද විමර්ශනවලින් හෙළිවී තිබේ. ඒ සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතාගේ සහෝදරියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර එහිදී ඇය පවසා ඇත්තේ පාස්කු ප්‍රහාරයට පෙර දින කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටි සිය පියා, පල්ලිවලට පහරදීමක් සිදුවනු ඇතැයි තමාට පවසා පාස්කු දින පල්ලි නොයන ලෙස දැනුම් දුන් බවය. පසුදින පල්ලිවලට පහරදීමක් සිදුවූ බවත් එදින සවස තමා සිය සහෝදරයා වූ හරීන් ප්‍රනාන්දුට දුරකතන ඇමතුමක් ලබාදෙමින් සිය පියා සදහන් කළ කථාව කියන තුරු ඔහු ඒ ගැන කිසිවක් දැන සිටියේ නැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය පවසා තිබේ.

    ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් හරීන් ප්‍රනාන්දු මහතාගේත් සහෝදරියගේත් ඔහුගේ පියාගේත් ජංගම දුරකතන විශ්ලේෂණය කර ඇත. එහිදී පැහැදිලිවම හෙළිවී ඇත්තේ හරීන් ප්‍රනාන්දු මහතාට ඔහුගේ පියාගෙන් අඩුම තරමින් ඒ දිනවල ඇමතුමක්වත් ලැබී නැති බවකි. එහෙත් සහෝදරියගේ දුරකතන විශ්ලේෂණයට අනුව පියාගෙන් ඇයට දුරකතන ඇමතුම් ලැබී ඇති බවත් හරීන්ට ඒ කියන ඇමතුම ඇගෙන් යොමු වී ඇති බවත්ය.

    ඒ අනුව හරින් ප්‍රනාන්දු මහතා සිය පියා තමාට පාස්කු දින පල්ලි නොයන ලෙසත් ප්‍රහාරයක් එල්ලවනු ඇති බව පියා සදහන් කළ බවත් කළ ප්‍රකාශය සැබෑවටම ඔහුට සිය පියා විසින් කළ ප්‍රකාශයක් නොවන බව තහවුරු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේදීද මේ ගැන කරුණු හෙළිවූ අතර හරීන් ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සදහන් කරණු ලැබුවේද සිය සහෝදරිය විසින් පියා පැවසූ බව කියමින් ඒ තොරතුර තමාට පැවසූ බවය. අනනතුරුව කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි සිය පියාව හමුවීමට තමා ගොස් වවිමසූ බවත් “තමුසෙට වඩා දේවල් අපි දන්නවා“ යනුවෙන් පමණක් යැයි සදහන් කළ බව හරීන් ප්‍රනාන්දු මහතා සාක්ෂි දෙමින් සදහන් කළේය. ඒ ගැන වැඩි යමක් පියාගෙන් දැන ගැනීමට අපේක්ෂාවෙන් සිටියත් ඔහු මිය ගිය බැවින් කිසිවක් දැන ගැනීමට නොහැකි වූ බවද ඔහු කොමිසම හමුවේ සදහන් කළේය. සිය පියා සදහන් කළ ඒ ප්‍රකාශය ගැන එවකට අගමැතිවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතාවද තමා දැනුවත් කළ බවත් මාධ්‍ය හමුව පවත්වන්නේ අනතුරුව බවත් ඔහු කීවේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කරුණුද සැලකිල්ලට ගෙන කරනු ලබන විමර්ශනයේදී හරීන් ප්‍රනාන්දු මහතාගේ පියාගේ ජංගම දුරකතන විශ්ලේෂණයේදී පෙනී ගොස් ඇත්තේ 2019 අප්‍රේල් 20 රාත්‍රී 8.00 පමණ ලැබී ඇති බවත් එම ඇමතුම ලබාදී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිටින නන්දලාල් නැමැති සැරයන්වරයෙක් බවය. විනාඩි 06 ක් සැරයන් නන්දලාල් සහ හරීන් ප්‍රනාන්දු මහතාගේ පියා අතර දුරකතන සංවාදය පැවැති බවද විමර්ශනවලින් පැහැදිලිවී තිබේ.

    වනාතවිල්ලුවේ ආයුධ ගබඩාව සොයා ගැනීම් සම්බන්ධයෙන් විමර්ශනවලට සම්බන්ධවී සහරාන් සහ ඔහුගේ ගෝලබාලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් කණ්ඩායමේද නන්දලාල් නැමැති නිලධාරියා රැදී සිට ඇත. පාස්කු ප්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරකට අනුව සහරාන්ගේ ප්‍රධාන ගෝලයෙක් වන ආමි මොහිදීන් නැමැත්තාව අත්අඩංගුවට ගැනීමට මඩකලපුවට ගිය කණ්ඩායමේද නන්දලාල් නැමැති නිලධාරියා සිට ඇති බවත් සහරාන්ව අත්අඩංගුවට ගැනීමට ඔහුගේ බිරිද කාදියාගේ මව්පියන් පංදිචි කුරුණෑගල නිවසට ගිය කණ්ඩාමේත් නන්දලාල් සිටි බව සදහන්ය.

    හරීන් ප්‍රනාන්දුු මහතාගේ් පියා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර ඇති මුදල් වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් නන්දලාල් නැමැති නිලධාරියා විසින් කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය. එම විමර්ශනය හේතුවෙන් හරීන් ප්‍රනාන්දු මහතාගේ පියා සහ නන්දලාල් අතර හිතවත්කමක්ද ගොඩ නැගී තිබී ඇති බවත් දෙදෙනා අතර දුරකතන ඇමතුම් හුවමාරුවීම් සිදුවන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.