fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමති ජී.එල්. අමෙරිකානු තානාපතිනිය හමුවෙයි

    ඇමති ජී.එල්. අමෙරිකානු තානාපතිනිය හමුවෙයි

    රට මුහුණ දෙන අභියෝග අවම කරගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ සහය ලබාගැනීම යනාදිය පිළිබඳ පුළුල් සාකච්ඡාවක් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය. ජී එල් පීරිස් මහතා සහ එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් මහත්මිය අතර පවත්වා තිබේ.

    ඒ පසුගිය දා (27) විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ය

    එහිදී මෙරට වත්මන් ප්‍රගතිය සහ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා අවම කර ගැනීම සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් ලබාදීමට මෙන්ම පැහැදිලි ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග සොයා බැලීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    මෙවැනි පසුබිමක් තුළ ශ්‍රී ලංකාව බහු පාර්ශ්වික සංවිධාන ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව දක්වන හිතෛශී බව සහ ඔවුන් ලබා දෙන සහය ඉතා අගය කරන බවද මහාචාර්ය පීරිස්මහතා සඳහන් කළේය.

    තවද, ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග අවම කරගැනීම සඳහා ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික මාර්ග ඔස්සේ එක්සත් ජනපදය සහ අනෙකුත් රටවලින් ලැබෙන අඛණ්ඩ සහයෝගය දිරිමත් කරන ලෙසද විදේශ කටයුතු අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

    අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ රැස්වීමේ නිදහස පිළිබඳ සියලු දෙනාගේ අයිතිවාසිකම්වලට ගරු කරමින් රටේ නීතියේ සහ සාමයේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීමට සහ පවත්වාගෙන යාමට රජය දරන ප්‍රයත්න පිළිබඳවද විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මහතා එක්සත් ජනපද තානාපතිනිය දැනුම්වත් කළේ ය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ සමඟ පැවති සාකච්ඡා පිළිබඳව ද ඔහු තානාපතිනිය දැනුම්වත් කළේ ය.

    තවද, වත්මන් ආර්ථික අභියෝග මධ්‍යයේ වුව ද සංහිඳියාව හා සබැඳි ගැටලු විසඳීමට රජය පූර්ණ වශයෙන් කැපවී සිටින බවද හෙතෙම තානාපති චන්ග් මහත්මිය හමුවේ තහවුරු කළේය.

    එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ මිතුරෙකු බවත් රට තුළ පවතින අභියෝග පිළිබඳව එක්සත් ජනපදය මනා අවබෝධයකින් පසුවන බවත් තානාපති චන්ග් මැතිනිය සඳහන් කළා ය.

    මෙම දුෂ්කර අවස්ථාවේ දී එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සිය අඛණ්ඩ සහය පිරිනමන බවද එතුමිය ප්‍රකාශ කළා ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.