fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වීර්යාධික සම්මුතිවාදී ධර්මගරුක සමාජයක් සැමගේ අරමුණ වේවා!- ජනපති

    වීර්යාධික සම්මුතිවාදී ධර්මගරුක සමාජයක් සැමගේ අරමුණ වේවා!- ජනපති

    ප්‍රතිපත්ති මුල් කර ගෙන, වීර්යාධික සම්මුතිවාදී ධර්මගරුක සමාජයක් ගොඩනැඟීම සියලු දෙනාගේ ඒකායන අරමුණ වේවා යැයි අදට යෙදී තිබෙන වෙසක් පොහොය දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබේ.

    එම පණිවිඩය පහත දැක්වේ.

    “අසිරිමත් සම්බුදු තෙමඟුල සිදු වූ උතුම් වෙසක් මංගල්‍යය සිහි කර, ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාව ඇතුළු සමස්ත ලෝකවාසී බෞද්ධ ජනයා ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් සිත් පහන් කරවන පුණ්‍ය කටයුතුවල යෙදෙති.

    භාග්‍යවතුන් වහන්සේ සකල සත වෙත පතළ මහා කරුණාවෙන් දේශනා කළ දහම වසර දෙදහස් පන්සියයකට අධික කාලයක් මුළුල්ලේ අවිච්ඡින්නව පවතින්නකි. සම්බුද්ධත්වය උදෙසා බෝධිසත්වයෝ ආත්ම භාව කල්ප ගණනක් පෙරුම් පිරූහ. එය ආමිස සහ ප්‍රතිපත්ති පූජාදියෙන් පරිපූර්ණ ය; දස පාරමී ගුණයන්ගෙන් සුපෝෂිත ය. ඒ සියලු සත්වයෝ සසර දුකින් මුදා ගැනීම පිණිස ය.

    සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ ලැබූවෝ අපරිමිත සම්බුදු ගුණ මෙනෙහි කරනුයේ අචල ශ්‍රද්ධාවෙන් යුතුව ය. අටලෝ දහමින් කම්පා නො වීමේ ගුණය පිළිබඳ කරුණු බෞද්ධ සාහිත්‍යයේත් බුද්ධ චරිතය පුරාත් අපට සුලබව හමු වේ. එකී දහමට අනුව වීර්යාධික වූවෝ ගැඹුරින් විමසා කල්යල් බලා තීරණවලට එළඹ වඩාත් උචිත විසඳුම් ලබා දුන් අවස්ථා බෞද්ධ අපට ආගන්තුක නො වේ.

    තං ච කම්මං කතං සාධු – යං කත්වා නානුතප්පති
    යස්ස පතීතො සුමනො – විපාකං පටිසෙවති

    “යම් ක්‍රියාවක් කොට පසුතැවිල්ලට පත් නො වේ ද, යම් ක්‍රියාවකගේ විපාකය ප්‍රීතියෙන් හා සතුටෙන් යුක්තව විඳින්නේ ද, ඒ ක්‍රියාව කළ සැටි යෙහෙකි” යනුවෙන් ධර්මයේ සඳහන් වෙයි.
    එබැවින් අසීරු අවස්ථාවන්හිදී වීර්යාධික විය යුතු ය. රට අසීරුතාවට පත් ව ඇති මේ මොහොතේ සියලු රටවැසියන් වෙනුවෙන් මහජන නියෝජිතයන් සියලු දෙනා එක් ව විසඳුමක් උදෙසා වහ වහා කටයුතු කළ යුතු ය. ඒකායන අරමුණ විය යුත්තේ මූලික අරමුණින් බැහැර නො වී අපේක්ෂිත ඉලක්කය වෙත ළඟා වීම ය.

    පවතින තත්ත්වය සිහි නුවණින් දැක සියලු දෙනාට පොදු සාධාරණ විනිශ්චයක් දිය හැකි වැඩපිළිවෙළක් වටා එක් විය යුතු ය. ඒ බෞද්ධ පිළිවෙත ය. ඒ සඳහා ලිච්ඡවී සංකල්පය වඩාත් උචිත වන පරිදි යොදා ගනිමින් අර්බුද සමනය කිරීමට එක් වන්නැයි මේ උතුම් වෙසඟ දිනයේදී මම ඔබගෙන් ඉල්ලා සිටිමි.

    ප්‍රතිපත්ති මුල් කර ගෙන, වීර්යාධික සම්මුතිවාදී ධර්මගරුක සමාජයක් ගොඩනැඟීම සියලු දෙනාගේ ඒකායන අරමුණ වේවා! යි උතුම් වෙසක් පුන් පොහෝ දින ප්‍රාර්ථනා කරමි.”

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.