fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පුනර්ජනනීය බලශක්තියට CEB මන්දගාමීයි - නිලධාරීහු අගමැතිට හෙළිකරති

    පුනර්ජනනීය බලශක්තියට CEB මන්දගාමීයි – නිලධාරීහු අගමැතිට හෙළිකරති

    පුනර්ජනනීය බලශක්තිය මගින් උත්පාදනය කරන විදුලි ධාරිතාව ප්‍රධාන විදුලි සැපයුම හා සම්බන්ධ කිරීමට අවශ්‍ය කටයුතු සකස් කිරීමේ දී විදුලිබල මණ්ඩලය මන්දගාමීව බවට මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීහු අගමැතිවරයා හමුවේ පවසා තිබේ.

    ඒ, ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම පසුගියදා (25) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැති අවස්ථාවේ දී ය.

    විදුලි අර්බුදයට විසඳුමක් ලෙස පුනර්ජනනීය බල ශක්තිය යොදා ගැනීමට පවතින බාධා ඉවත් කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතාට අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

    මෙම අමාත්‍යාංශයට අයත් ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය, තිරසර සංවර්ධන සභාව, කොම්ප්ට්‍රෝලර් ජනරාල් කාර්යාලය, තක්සේරු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සහ රාජ්‍ය සේවා අන්‍යෝන්‍ය අර්ථ සාධක සංගමය යන ආයතනවල ප්‍රගතිය මෙහි දී සමාලෝචනය කෙරිණි.

    ඉන්ධන භාවිතයෙන් උත්පාදනය වන විදුලි ඒකකයක් සඳහා රුපියල් 60කට වැඩි වියදමක් දරන බවත්, පුනර්ජනනීය බලශක්තිය මගින් උත්පාදනය වන විදුලි ඒකකයක් රුපියල් 20ක පමණ අවම වියදමකින් ලබා ගත හැකි බවත් මෙහි දී හෙළි විය.

    ඒ අනුව පවතින විදුලි අර්බුදය විසඳීමට නම් පුනර්ජනනීය බලශක්තිය හැර වෙනත් විකල්පයක් නොමැති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත් කුමාරසිංහ මහතා පෙන්වා දුන්නේ ය.

    2030 වර්ෂය වන විට ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇති විදුලි අවශ්‍යතාව වන ගිගා වොට් පැය 28, 200න්, ගිගාවොට් පැය 19,800ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් ලබා ගැනීමේ වත්මන් රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් 70%ක පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීමට නම් දැනට ක්‍රියාත්මක විදුලි බල මණ්ඩලයේ 1969 පනත සංශෝධනය කර වර්තමානයට ගැලපෙන පරිදි විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කළ යුතු බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීහු මෙහි දී කියා සිටියහ.

    පුනර්ජනනීය බලශක්තිය මගින් උත්පාදනය කරන විදුලි ධාරිතාව ප්‍රධාන විදුලි සැපයුම හා සම්බන්ධ කිරීමට අවශ්‍ය කටයුතු සකස් කිරීමේ දී විදුලිබල මණ්ඩලය මන්දගාමීව බවට ද මෙහි දී කරුණු ඉදිරිපත් විය.

    වර්තමාන විදුලි අර්බුදයට වහා විසඳුම් අවශ්‍ය බව අවධාරණය කළ අගමැතිවරයා, විදුලි අර්බුධයෙන් පීඩාවට පත් ජනතාවට හැකි ඉක්මනින් අඛණ්ඩව විදුලිය සැපයිය යුතු බව පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාවට ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට, අතිරේක ලේකම්වරු වන ඒ. විමලවීර, ඩී.කේ. විජේසිංහ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රියංග නානායක්කාර, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.එම්.පී. අනුර කුමාර, කොම්ප්ට්‍රෝලර් ජනරාල් කාර්යාලයේ කොම්ප්ට්‍රෝලර් ජනරාල් කේ.ඒ. රම්‍යා කාන්ති, රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තක්සේරුකරු පී.පී.ඩී.එස්. මුතුකුමාරණ, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ, ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.එච්.ඩබ්ලිව්.ඒ. කුමාරසිරි, තිරසර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චමින්ද්‍රි සපරමාදු, ප්‍රතිපත්ති අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය දුෂිනි වීරකෝන්, ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂා මොහොට්ටි යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.