fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහින්දව මරන්න හැදූ මහ කොටියෙක් ජීවිතාන්තය දක්වා හිරේට

    මහින්දව මරන්න හැදූ මහ කොටියෙක් ජීවිතාන්තය දක්වා හිරේට

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී ඔහුව ඝාතනය කිරීමට උත්සහ දැරූ සහ අකුරුස්ස ගොඩපිටියේ පල්ලියක පැවති උත්සවයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකර විශාල පිරිසක් ඝාතනය කිරීම ඇතුළු අපරාධ කිහිපයකට සම්බන්ධ එල්.ටී.ටී.ඊ.යේ හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකුවන තංගවේලු නිමලන් නැමැති ත්‍රස්තවාදියාට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබාදී ඇත.

    ආර්.ඩී.එක්ස් අඩංගු අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 02 ක් පමණ තම සන්තකයේ තබා ගැනීම හෝ පාලනය යටතේ තබා ගැනීම යන චෝදනාවට වරදකරු වීම නිසාය.

    මෙම නඩුව 2011 වසරේ සිට විභාග වී ඇති අතර තීන්දුව ප්‍රකාශයටපත්කරනු ලැබුවේ ඉකුත් 28 වෙනිදා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අද පෙරවරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

    එල්.ටී.ටී.ඊ. සංංවිධානයේ හිටපු බුද්ධි අංශයේ නායකයෙක් ලෙස සැළකෙන මුත්තප්පන් යටතේ කටයුතු කළ බුද්ධි අංශ සාමාජිකයින් කිහිප දෙනෙක් එම කාල වකවානුවේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් පසු එම ප්‍රහාර තොරතුරු හෙළිවූ බවද එම නිවේදනයේ සඳහන්ය. රජයේ පාලන ප්‍රදේශය තුළ විශාල වශයෙන් ප්‍රහාර දියත් කිරීම සම්බන්ධයෙන් වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවන්, ප්‍රහාර සඳහා යොදා ගැනීමට සූදානම්කරතිබූ අධි බලැති බෝම්බ, මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල, සංග්‍රාමික උපකරණ විශාල තොගයක් අත්අඩංගුවට ගත් බවද එම නිවේදනයේ සඳහන්ය.

    එසේ අත්අඩංගුවට ගත් තංගවේලු නිමලන් යන සැකකරුට විරුද්ධව 2007 වසරේ මැයි 28 දා රත්මලානේදී විශේෂ කාර්ය බලකා නිලධාරීන් රැගත් ට්‍රකි රථයකට පැති බෝම්බයක් එල්ලකර නිලධාරීන් ඝාතනය කිරීමට තැත් කිරීම, 2009 පෙබරවාරි 07 වෙනිදා වයඹ පළාත් සභා මැතිවරණය වෙනුවෙන් කුරුණෑගල මාලිගාපිටියේ එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට තිබුණු ජන රැලියේ වේදිකාව අසල බෝම්බයක් අටවා එය පුපුරවා හැර ජනාධිපතිවරයා ඝාතනය කිරීමට තැත් කිරීම, අකුරුස්ස ගොඩපිටියේදී 2009 මාර්තු 03 වෙනිදා පල්ලියක පැවැති උත්සවයකදී මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් යොදා අමාත්‍යවරයෙක් ඇතුළු පුද්ගලයින් 46 දෙනෙක් තුවාල කිරීම සහ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක් ඇතුළු පුද්ගලයින් 14 දෙනෙක් ඝාතනය කිරීම, 2009 අගෝස්තු 05 වෙනිදා ඌව පළාත් සභා මැතිවරණයේදී බදුල්ල ක්‍රීඩාංගනයේ පැවති ජන රැලියේදී බෝම්බයක් පුපුරා හැර එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් නඩුද මේ වන විට විභාග වෙමින් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.