fbpx
තවත්
    මුල් පිටුවවිශේෂාංගමරණය උරුම වූ යක්දෙස්සියන් නොහොත් වැලපෙන ඉතිහාසය

    මරණය උරුම වූ යක්දෙස්සියන් නොහොත් වැලපෙන ඉතිහාසය

    යුරෝපීය ඉතිහාසයේ විසි වන ශතවර්ෂය ආරම්භය යනු අඳුරු මායාකර්මත් ඒවා සිදු කරන යක්දෙස්සියන් පිළිබඳවත් භීතිය මැවූ සමයකි. යක්දෙස්සියන් පිළිබඳ සමාජ විඥානය තවමත් තුන්හුලස් අඳුරු පැහැ දිගු තොප්පි හෝ අඳුරු ලෝගු දමාගත්, අවුල් ව ගිය හිසකෙසින් හා අඳුරු වැරහැලි වලින් ගත වසාගත් දිගු නැහැයක් හා උල් නිකටක් ඇති කොස්සක නැගී අහස පුරා යන ජරාපත් අවලක්ෂණ මැහැල්ලක ගේ රූපය වෙතට සැරි සරයි.

    නමුත් යක්දෙස්සියන් ලෙස චෝදනා ලබන්නේ ඔවුන් පමණක් නොවේ. අසාමාන්‍ය මානසික චර්යා පිළිඹිබු කරන යෞවනියන් පවා යක්දෙස්සියන් ලෙස එකළ චෝදනා ලබන ලදී. එවක ජන සමාජය ඔවුන් සාමාන්‍ය ගැහැණියකට කළ නොහැකි දේ කිරීමට සමත් වන බව තදින් විශ්වාස කළහ. ඔවුහු අඳුරු මායාකර්ම වලින් රූමත්, ධනවත් හා දේව භක්තික යහපත් මිනිසුන්ට විපත පමුණුවන්නාහ. මේ හේතූන් නිසාම විසි වන ශතවර්ෂය ආරම්භයේ මායාකර්ම වල යෙදෙන්නේ යැයි සැක කරන ගැහැණුන් පුලුස්සා හෝ එල්ලා මරා දැමීම අතිශය සමාජ සාධාරණත්වයෙන් යුතු ක්‍රියාවන් සේ පිළිගැනුණි.

    නමුත් ඉතිහාසයේ යක්දෙස්සියන් යැයි සැක කළ ගැහැණුන්ගේ මරණාසන්න විලාපය කියනා සත්‍යය එයම විය හැකි ද? යක්දෙස්සියන් දඩයම ගැන අද වන විට ඉතිහාසය අධ්‍යනයෙන් සොයා ගෙන ඇති කරුණු අනුව එසේ මරණයට පත් කළ බොහෝ කාන්තාවන් අවිහිංසක සුවකරන්නියන්, ස්වභාවධර්මය ඇදහූවන් හෝ මානසික අවපීඩන තත්ත්වයන්ට, අධි මානුෂික හැකියාවන්ට පත් වූ කාන්තාවන් වේ. ඒ වන විට යුරෝපය පුරා බලවත් වන ක්‍රිස්තියානි පල්ලියේ ආධිපත්‍යය කිතු දහම ට අයත් නොවන දේශීය ඇදහීම්, යාගහෝම, මායාකර්ම, අත්බෙහෙත් ආදිය සිදු කළ, සමාජයේ ගෞරවය දිනා සිටි එවැනි කාන්තාවන් ජීවිතයෙන් ඉවත් කරන්නේ හුදෙක් අසමසම කිතුනු පූජකවරයේ බලය ප්‍රශ්න කිරීමට ඉඩ නොතබණු පිණිස බව සිතිය හැක.

    වර්ෂ 1500- 1600 අතර කාලයේ යුරෝපයේ දී යක්දෙස්සියන් ලෙස චෝදනා ලැබ මරණයට පත් කළ කාන්තාවන් ගණන 80000 ඉක්මන බව පැවසේ. ඒ අතරිනුත් ජර්මනිය වැඩිම යක්දෙස්සියන් දඩයම් වාර්තාව හිමි කර ගෙන සිටී. යක්දෙස්සියන් ලෙස චෝදනා ලැබීමට පහසු ගොදුරු වූයේ තනිකඩ කාන්තාවන්, වැන්දඹුවන් හෝ ආර්ථික සමාජීය කාරණා මත ආන්තික කළ ගැහැණුන් බව ද ඉතිහාසය වාර්තා කරයි.

    1486 දී ජර්මනියේ රචනා කෙරුණ “Malleus Maleficarum” හෙවත් යක්දෙස්සියන් ගේ යකුළ (The Hammer of Witches) නම් කෘතියෙන් යක්දෙස්සියන් හඳුනාගත හැකි ආකාරය සහ දඩයම් ක්‍රම ගැන සඳහන් කර තිබුණි. මෙය ඒ සමයේ බයිබලයට පමණක් දෙවැනිව අතිශය ජනප්‍රියත්වයට හා අලෙවියට පත්ව තිබූ බව සඳහන් වීමෙන් යක්දෙස්සියන් සේ සැලකූ කාන්තාවන් ගේ ඉරණම මරණයයි යන්න කෙතරම් තදින් යුරෝපා සමාජය සිතුවේ ද යන්න පැහැදිලිය.

    යුරෝපයේ මුල් බැස තිබූ යක්දෙස්සියන් පිළිබඳ භීතිය යටත් විජිත සමයේ අඳුරු පැහැ සම් ඇති ස්වදේශික ජනයා වෙත විතැන් කිරීම ඊලඟ ඛේදවාචකය වෙයි. එංගලන්තය, ප්‍රංශය පමණක් නොව යක්දෙස්සියන් සේ සලකා ඇමරිකාව ද කළු ජාතිකයන් දහස් ගණනින් මරණයට පත් කරයි. නමුත් මේ අතරින් අද දක්වා පරිසරය හා බැඳුනු වෙද හෙදකම්, විශ්වාස පද්ධතියක් ඇති තම ස්වදේශික දැනුම උසස්කොට සලකන වික්කාවරුන් ඇමෙරිකා සහ කැනඩා භූමිය ආශ්‍රිතව සීමිතව තම සම්ප්‍රදායයන් පවත්වා ගනිති. බොහෝ කලා නිර්මාණ වල වස්තු විෂයයක් ලෙස ඔවුන් ගේ අනාගතය දැකීමේ නුවණ, ස්වභාවික ඖෂධ සත්කාර, කෙම් ක්‍රම ආදිය උත්ප්‍රාසයට නං වනු පෙනේ.

    14,15 සියවස් වල සිට යුරෝපයේ අතිශය හිංසනයට ලක් කෙරුණු මායාකර්මයන් නව දහමක් බවට පත් කිරීමේ පුරෝගාමියා ජෙරාල්ඩ් ගාඩ්නර් (Gerald Gardner) සේ සැලකේ. යටත් විජිත සිවිල් සේවකයෙකු ලෙස ඔහු තම රැකියාව අතරතුර ආදි ආගම් හැදෑරීම සිදු කළ බව පැවසේ. ඒ අතර සේවය කරන යටත්විජිත ලංකාව හා මලයාව ගැන ද සඳහන්ය. වික්කා දහම තෝරාගත් ශුද්ධ වස්තූන් ත්‍රිත්වයක් වන්දනා කිරීම බොහෝ දුරට දැකිය හැක. ඒ අතර සොබාදහමේ අංග, මව් දේවතාව, අං සහිත දෙවියා (horned god) ඒ අතර සුවිශේෂ වේ. ස්වභාවධර්මය මුල් තැන්හි ලා සලකන එහි ගුප්ත, මායාකාරී සිදුවීම්, සංකල්පයන් හා පුදපූජා විධීන් ගෙන් ගහණය.

    යුරෝපයේ යක්දෙස්සියන් දඩයමේ නිරපරාදේ ගොදුරු වූ අනෙක් පිරිස පරිණත ගැහැණු හෙවත් wise women ලෙස සැලකේ. ආගමකට වඩා වෙදකම් මූලික කරගත් ඔවුන්ගේ භාවිතාවන් ස්වභාවික ශාඛ හා කෙම් ක්‍රම ආදිය මුසුව තිබුණ නිසාත් ජීවිත බේරා ගැනීම නිසා නිතැතින්ම ආරෝපණය වී තිබූ සමාජීය බලය නිසාත් අඳුරු මායාකර්ම කරන්නියන් යැයි කිතුනු පූජකවරයේ විවේචනයට ලක් වන්නට සිදු වූ අතර බොහෝ පරිණත ගැහැණුන්ට එනිසාම හිමි වූ ඉරණම නම් යක්දෙස්සියක් යැයි අපහාස ලැබ වේදනාත්මක මරණයකි.

    ඒ අනුව පැරණි ලෝකය නවීනත්වය එද්දී යක්දෙස්සියන්, මායාකර්ම වැනි අඳුරු බලවේග පාලනය කරන ලදැයි මෙතක් අප සිතා සිටි කතාවේ සැබෑව එය නොවන බව පැහැදිලිය. ස්වභාවධර්මයත්, ගහකොළ හා එහි අද්භූත සුව කිරීමේ ශක්තිය ඇදහූ දැනුම් සම්භාරයකුත්, එනිසාම අසාධාරණ චෝදනා ලැබ මරණයට පත් කළ පමණක් නොව අදටත් ඉතා අවලස්සන ජරාපත් රූපයක් ලෙස සමාජ විඥානය ට ඇතුලත් කළ අවිහිංසක ගැහැණුන් ගේ මරණීය විලාපයන් අතීත කතාවේ සොයා යා යුතු සැබෑව වන්නේය.

    සජිනි උයන්ගොඩ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.