fbpx
තවත්
    මුල් පිටුවජීවන රටාවනැවුම් වනයේ දී නැතිවූ මල් දම - සෝමාලි මෑම්

    නැවුම් වනයේ දී නැතිවූ මල් දම – සෝමාලි මෑම්

    ලෝකයේ පැරණිම වෘත්තිය සේ සැලකෙන වෛශ්‍යා වෘත්තිය හෙවත් ගණිකා වෘත්තිය මෙලොව ගැහැණුන් ට විඳින්නට වෙන අනේක අසාධාරණකම් අතරේ අඳුරු පැතිකඩක රූපණයක් වැන්න. යහපත් සමාජීය හා පවුල් ජීවිතයක් ගෙවන්නට අකමැති වෙන ගැහැණිය කවුද? ගණිකා වෘත්තිය ලොව පුරා ගැහැණුන්ට අහිමි කරන්නේ ඒ ගෞරවණීය ජීවිතයයි.

    “සෝමාලි” යනු කාම්බෝජියානු අර්ථය අනුව “නැවුම් වනයේ නැති වූ මල්දම” යන්නයි. නමුත් මේ කතාවේ කතා නායිකා සෝමාලි මෑම් ගේ ජීවිතය මලක් සේ මෘදු වන්නේ නැත. නමුත් ඇය නමේ අර්ථය සේම එක් අතකට නැවුම් බව නැති වූ මල්දමකි. ආසියාවේ දුප්පත් රටක් වන කාම්බෝජයේත් ඉතා දුෂ්කර කඳුකර ග්‍රාමීය පෙදෙසක සෙසු රටවැසියන් ම්ලෙච්ඡයන් ලෙස අමතන ගෝත්‍රයක දෙමාපිය රැකවරණය ද අහිමි වූ දැරියක සේ ඉපදෙන ඇයගේ ජීවිතය කිසිසේත්ම සුව පහසු වූවක් නොවන බව පැහැදිලිය. ඒ අවාසනාවන්ත ළමා විය අත්දැකීම් තවත් නරකාදියකට හෙලන්නට නව හැවිරිදි වියේ සිට ඇයව ලිංගික වහල් මෙහෙය ට යැවෙයි.

    තම ජීවිතය කුඩා වියේ සිටම අප්‍රසන්න පිරිමින් අතින් කීතු කීතු කර කැමරූජ් අගනුවර දී මුදලට ලිංගික ශ්‍රමය අලෙවි කරන ගණිකාවක තෙක් දිවි ගෙවීමට තරම් කටුක කළ ද ඒ සියල්ල අතරේ ඈ අත නොහැරි ආත්ම ධෛර්යය 2006 වසරේ දී “වසරේ කාන්තාව” ලෙස සම්මාන ලබන තෙක් ඈ සමීපයේ සිටි බව පෙනේ. ඒ තමා ගේ අප්‍රසන්න ඉරණමෙන් පමණක් නොව එවැනි තත්වයට පත්වීමට සිදුවූ කාම්බෝජ, වියට්නාම, ලාඕස වැනි දැරියන්, තරුණියන් ද එයින් මුදවීමට කටයුතු කිරීම වෙනුවෙනි.

    සෝමාලි මෑම් ගණිකා වෘත්තියේ යෙදෙමින් එහෙත් ඒ කටුක දුක්බර දිවියෙන් ගැලවීමට මං සොයමින් සිටියදී 1991 දී පියරේ ලෙග්රොස් නම් ප්‍රංශ ජාතිකයා මුණ ගැහෙන අතර එයින් පසු ඔහුගේ නීත්‍යානුකූල සහකාරියව ප්‍රංශයේ කෙටි කලක් වාසය කිරීමට අවස්ථාව සලසා ගනී. එම කෙටි කාලය තුල බටහිර නිදහස් සමාජය ඇසුරේ ඇගේ ස්වාධීන අදහස් තව තවත් දලුලා වැඩෙන අතර ඒ පන්නරය නැවත මව් රටට පෙරලා පැමිණි පසු 1996 දී “කාන්තා ආපදා පිළිසරණ මධ්‍යස්ථානය” හෙවත් AFESIP ආයතනය ගොඩ නැගීමට හේතු වේ.

    කිසිවෙකු ගේ අවදානයට හෝ පිළිසරණයට පාත්‍ර නොවූ, සමාජ හිංසනයට බඳුන් වූ ගණිකා වෘත්තීන් හි නියැලෙන කාන්තාවන් එයින් මුදවා ගැනීම සහ ඔවුන්ට පිහිට වීමට ඇරඹූ එම සංවිධානය නිසා යුරෝපීය මානුෂීය ආධාර ද ඈ වෙත ගලා එන්නට විය. සෝමාලි මෑම් මේ සියලු ආධාර තවත් පුනුරුත්තාපන මධ්‍යස්ථාන ඇරඹීම හා ලිංගික අධ්‍යාපනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා දූරදර්ශීව යොදවා ගත්තාය. එමෙන්ම කාම්බෝජ දේශසීමා ඔස්සේ කාම්බෝජ මෙන්ම වියට්නාම දැරියන් හොර රහසේ තායිලන්ත, තායිවාන, මැලේසියා හා කැනඩා ගණිකා නිවාස වලට විකිණෙන ජාවාරම වෙනුවෙන් ද දිගින් දිගටම හඬ නැගුවාය. මේ නිසාම ඇයට තම මව්බිම ට පමණක් සීමා නොවී AFESIP ආයතනයේ කටයුතු අසල්වැසි වියට්නාම්, තායිලන්ත, ලාඕසය වැනි රටවල ද ව්‍යාප්ත කිරීමට සිදු වූ අතර ඒ වෙනුවෙන් කළ සේවයට 2006 වර්ෂයේ දී Glamour සඟරාව ඇය වසරේ කාන්තාව ලෙස නම් කරයි. CNN ආයතනය ද එම වර්ෂයේ වීරයා ලෙස නම් කරන්නේ ඇය යි.

    එමෙන්ම එම වර්ෂයේ ම ඉතාලියේ පැවති සීත ඔලිම්පික් උළෙලේ ඔලිම්පික් ධජය රැගෙන යාමේ අවස්ථා ද ඇය හිමි කර ගනී. 2007 වර්ෂයේ රෙගීස් විශ්වවිද්‍යාලය ඇයට සමාජසේවා පිළිබඳ ආචාර්ය උපාධිය පිරිනමන අතර ස්වීඩනයේ දී ළමා හිමිකම් සඳහා ලෝක ළමයින් ගේ සම්මාන ය ද 2008 වර්ෂයේ දී ඇය වෙත ලබා දෙයි. ලෝකයේ බලවත් කාන්තාවන් සියදෙනා අතරේ ඇයගේ නම ලෝ ප්‍රසිද්ධ ටයිම් සඟරාව මෙන්ම ද ගාඩියන් පුවත්පත ද ලියා තබා ඇත. අද වන විටත් ඇය සෝමාලි මෑම් පදනම (Somaly Mam Foundation) හරහා ලොව පුරා සියලු කලාපයන්හි සිදුවන වහල් ලිංගික වෙළඳාම වෙනුවෙන් සුපුරුදු හඬ අවදි කරමින් සිටින්නීය.

    සිය කටුක ජීවිත කතාව හා කාම්බෝජයේත් සමීප රටවලත් ගණිකා ව්‍යාපාරය හා වහල් ලිංගික වෙළඳාමට විරුද්ධව කළ සටන පිළිබඳව ඇය ලියූ The road of lost innocence (අනුර කේ. එදිරිසූරිය විසින් දඬු කඳේ කින්නරී නමින් සිංහලට පරිවර්තනය කර ඇත) නම් කෘතිය අවසන ඇය මෙසේ සටහන් කරයි.

    මේ තරම් දේ කරන්නට මට ශක්තිය කොහෙන්දැයි මිනිසුන් අසති. මම ඔබට කියමි; මට ජවය සපයන බලවේගය මා අත්විඳි නීච ඉරණමයි. මට ප්‍රලය විය හැකි එකම මග මෙයයි.

    සජිනි උයන්ගොඩ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.