fbpx
තවත්
    මුල් පිටුවජීවන රටාවගෝලීය ව්‍යසන හමුවේ කාන්තාවගේ ආස්ථානය

    ගෝලීය ව්‍යසන හමුවේ කාන්තාවගේ ආස්ථානය

    ලෝකය අද මුහුණ දෙමින් සිටින්නේ ගෝලීය ව්‍යසන තත්වයකි. මින් පෙර ලෝකය එවැනි අවස්ථාවකට මුහුණ දුන්නේ පළමු හා දෙවන ලෝක යුද්ධ වලදී බව ආර්ථික, දේශපාලන විශාරදයන් ගේ විග්‍රහය වේ. නමුත් පළමු හා දෙවන සිදුවීම් වලට වඩා වර්තමාන සිදුවීම වෙනස් වන්නේ එය වසංගත රෝග තත්වයක් හේතුවෙන් උද්ගතව ඇති බැවිනි.

    ගෝලීය වසංගත තත්වයන්ට මුහුණ දුන් අවස්ථා මින් පෙර කිහිපයක්ම වාර්තා වේ. ඒ අතරේ 14 වන සියවසේ බ්ලැක් ඩෙත් වසංගතය, 16 වන සියවසේ කොකොලිස්ට්ලි වසංගතය, ඇමරිකානු වසංගතය, 18 වන සියවසේ වර්සෙලී වසංගතය, රුසියන් වසංගතය, 19 වන සියවසේ උණ වසංගතය, 1916 ඇමෙරිකානු පෝලියෝ වසංගතය, 1918 ස්පැනිෂ් උණ වසංගතය, ආසියානු මැලේරියා වසංගතය ආදිය ඉතිහාසයේ සටහන් වේ. නමුත් මේ සියල්ල අතරේ වර්තමානයේ මුහුණ දෙමින් සිටින නව කොරෝනා වසංගතය හුදෙක් සෞඛ්‍යය ගැටලුවකට එහා ගිය ආර්ථික, සමාජීය හා දේශපාලනික අනාගත ව්‍යසනයක් පිළිබඳ පූර්ව අවධානම වටහා ගනිමින් සිටින තත්වයක් බවට පරිවර්තනය වෙමින් තිබේ. පෙරකී වසංගත තත්වයන් වලට වඩා ලෝකය තාක්ෂණිකව දැඩිව සම්බන්ධ වී තිබීමත්, ආනයන අපනයන මත පදනම් වූ ගෝලීය ආර්ථිකයෙහි නිශ්පාදන කාර්යය බිඳ වැටී තිබීමත්, ගෝලීය දේශපාලන බලතුලනයෙහි අස්ථාවරත්වයන් නිරූපණය වෙමින් පැවතීමත් එසේ වන්නට හේතු කාරණා වී ඇත.

    මේ සිදුවීම් අතර කාන්තාවගේ ආස්ථානය කෙසේ විය හැකිදැයි විමසීම වැදගත් වන්නේ දෙවන ලෝක යුද්ධය වැනි ගෝලීය ව්‍යසනයක් හමුවේ පවා කාන්තාවගේ එතෙක් පැවති සමාජ ආර්ථික හා දේශපාලනික භූමිකාව විශාල විපර්යාසයකට භාජනය වූ බැවිනි. දෙවන ලෝක යුද්ධ සමයේ වන විට බටහිර ලෝකයේ කාන්තාවගේ තත්වය පුරුෂාධිපති ක්‍රමය තුල ගෘහය වෙතට සීමා කෙරුණු අතර දැඩි ආගමික ඉගැන්වීම් මත හැඟීම් පාලනය කෙරුණු වටපිටාවක් ද විද්‍යමානව පැවතුණි. එවකට සමාජයේ ඉහළ පිළිගැනීමකට ලක්ව තිබූ වික්ටෝරියානු සුචරිතවාදය විමසීමෙන් මේ බව අවබෝධ කර ගත හැක. නමුත් පිරිමින් යුධ ගැටුම් වලට මැදි වූ පසු බටහිර රටවල සමාජ හා ආර්ථික කාරණා වල ප්‍රමුඛත්වය ගැනීමට කාන්තාවට අවස්ථාව නිතැතින් හිමි වූ අතර එතෙක් නිවසින් පිටතට සීමිත අවකාශ හිමි වූ කාන්තාව අධ්‍යාපනයට හා වේතන සඳහා වන රැකියාවන්ට යොමු වීමේ වේගය සීග්‍ර විය. මෙය 70 දශකය වන විට කාන්තාවගේ තත්වය ගෝලීය සංවර්ධනය තුල සැලකිය යුතුම දර්ශකයක් ලෙස හඳුනා ගැනීම තෙක් දීර්ඝ වේ. එමෙන්ම ලෝකය පුරා ප්‍රචලිතව ගිය කාන්තාවාදී ව්‍යාපාරයන්ට පදනම දැමෙන්නේ වරෙක ගෝලීය ව්‍යසනයක් වූ දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇති වන සාධනීය ප්‍රතිපලයක් ලෙසිනි.

    ඉතාම වියළි ඉරිතැලුණු බිමක අනාගත බලාපොරොත්තු මෝදු කරමින් සියුම් දෙපෙත්තක් දළු ලන්නා සේ එලෙස ගෝලීය ව්‍යසනයකින් පසු වඩා යහපත්, තාර්කික හා සාධාරණ සමාජයක් වෙත බලාපොරොත්තු තැබිය හැක. පුරුෂාධිපත්‍යය රජයන ලෝකයක කාන්තාවගේ ආස්ථානය ස්වාධීන හා ගෞරවණීය මට්ටමකට ලගා කර ගැනීමත් එවැනි එක් බලාපොරොත්තුවකි.

    මේ වන විට මෙම ව්‍යසනයට මුහුණ දෙන ශක්තිමත් රටවල් වල බොහෝ දේශපාලන අර්බුධ හටගෙන තිබෙද්දී කාන්තා දේශපාලන නායකත්වයන් දරණ නවසීලන්තය, මියන්මාරය, ෆින්ලන්තය, අයිස්ලන්තය, සිංගප්පූරුව, එස්තෝනියාව, බොලීවියාව වැනි රටවල් මෙම ව්‍යසනය පැතිරීම මේ දක්වා සාර්ථකව පාලනය කරගනිමින් සිටී. එය අනාගත ගෝලීය දේශපාලනයේ කාන්තා නායකත්වය පිළිබඳ විශ්වාසනීයත්වය වර්ධනය වීමට හොඳ හේතුවක් වනු ඇත. කොරෝනා ව්‍යසනය හමුවේ ශ්‍රී ලංකාවේ මර්ධන වැඩසටහනේ සෞඛ්‍ය ඇමතිවරියගේ දායකත්වය ද කාන්තාවක ලෙස පැසසිය යුතුය. ලොව පුරා සෞඛ්‍ය සේවාවන්හි නිරත දහසක් වෛද්‍යවරියන් හා හෙදියන් ද මෙම ව්‍යසනය පාලනය හමුවේ කාන්තාවගේ වෘත්තීමය වැදගත් කම තහවුරු කරයි.

    සෞඛ්‍ය හා දේශපාලනය පමණක් නොව ආර්ථික හා සමාජීය කාරණාවන් වලදී ද මේ ව්‍යසනයෙන් පසු ලෝකය වෙනස් දැක්මකට ගමන් කරනු ඇත. මෙතෙක් කාන්තාවගේ ඓතිහාසික ගමන් මගෙහි සිදුවූ සාධනීයත්වයන් සලකා බලන විට අනාගත ලෝකයේ කාන්තාවගේ ආස්ථානය ද මේ මොහොතේ ඇය කැප කරමින් සිටින සමාජ ආර්ථික හා දේශපාලන කාරණාවන් මත වඩා හොඳ අතකට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැක.

    සජිනි උයන්ගොඩ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.