fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPබැන්නත් ගැහුවත්, ගහල එලෙව්වත් ජනතාව වෙනුවෙන් කාබනික පොහොර වගාවට යායුතුයි - ජනපති

    බැන්නත් ගැහුවත්, ගහල එලෙව්වත් ජනතාව වෙනුවෙන් කාබනික පොහොර වගාවට යායුතුයි – ජනපති

    “ඉදිරි පරම්පරාව වෙනුවෙන් අපි යා යුතු තැන මෙතෙන. මේක දුෂ්කර වුණත් බැනුම් අහගෙන හරි ජනතාවට මේක කියලා දෙන්න ඕනේ. මේක මගේ හදිසි තීරණයක් නෙමෙයි. මේක අපේ සෞභාග්‍යයේ දැක්මේ පැහැදිලිව ම කියලා තියෙනවා. අයවැයේ දී පැහැදිලිව කිව්වා අපි මෙතැනට යන්නේ කියලා. මම මේක තීරණයක් අරගෙන තියෙනවා. මේක රටට නෙමෙයි ලෝකයට ම හොඳ දෙයක්. නරක දෙයක් නම් මට ඕන නෑ. මේක හොඳ දෙයක්. ගහලා එලෙව්වත් ගුටි කාලා හරි වැඩේ කරන්න ඕනේ.“

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ කථාව කියන්නේ ජනාධිපති කාර්යාලයේ ඊයේ (07) පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ හමුවකදීය. එහිදී වැඩි අවධානයක් ජනාධිපතිවරයා යොමු කරන්නේ කාබනික පොහොර භාවිතය ගැනය.

    කාබනික පොහොර භාවිතයට එළඹීමේ දී පැමිණෙන අභියෝග නොතකා මහජන නියෝජිතයන් ජනතා සුභසිද්ධිය පිණිස ඉදිරියට යායුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අවධාරණයද කළේය.

    “ කාබනික පොහොර සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් නොකිරීම අනිසි බියට හේතු වී තිබෙනවා.“ යැයිද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලිකර දී ඇත.

    දශක කිහිපයක සිට රසායනික පොහොර භාවිතයට ගොවියා පෙළඹීම හේතුවෙන් විශාල පිරිසක් විවිධ බෝ නොවන රෝගවලට මුහුණ පෑ බව මෙන්ම එම තත්ත්වයෙන් අනාගත පරපුර ගලවා ගැනීම රටවැසි සියලු දෙනාගේ වගකීම විය යුතු බව ද ජනධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එහිදී සදහන් කර තිබේ.

    කාබනික පොහොර භාවිතයට කෘෂිකර්මාන්තය රැගෙන යාම රජයේ දැඩි ස්ථාවර වී ඇති බව මෙන්ම එම වැඩපිළිවෙළ ඇතැම් පාර්ශ්වයන්ගේ විවේචනවලට ලක් වුවද අනාගත දරු පරපුරේ යහපත උදෙසා ක්‍රියාත්මක විය යුතු බව ද ජනාධිපතිවරයා එහිදී නැවත නැවත අවධාරණය කර ඇත.

    හිඟයක් ඇති කිරීමට උත්සාහ ගත්ත ද ඉදිරි කන්නය දක්වා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් තරම් ගෙන්වා ඇති බවත් එම නිසා සියලු වගා කටයුතු බාධාවකින් තොරව කරගෙන යා හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

    “කාබනික පොහොර කෘෂිකර්මාන්තය සඳහා ලංකාවේ විශාල විභවයක් පවතිනවා. සංක්‍රාන්ති කාලය තුළ ගොවියාට මුහුණ පෑමට සිදුවන අසීරු අවස්ථා කළමනාකරණය කිරීමට උපරිම සහන සලසා දීම රජයේ ප්‍රතිපත්තියයි“ බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට පැහැදිලිකර දී තිබේ.

    අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිට ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.