fbpx
තවත්

    අවදි වූ රැජින (📹)

    මේ දිනවල පවතින අධික වැසි තත්ත්වය නිසා උපරිම ජල මට්ටමට පැමිණි වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු විවෘත වීම හේතුවෙන් වික්ටෝරියා වේල්ල හරහා ගමන් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව මහවැලි අධිකාරිය දන්වා තිබේ.

    වික්ටෝරියා වේල්ලේ වාන් දොරටු දෙකක් ස්වයංක්‍රීයව විවෘත වී තිබුණි.

    එබැවින් මහවැලි ගංගාව පරිහරණය කරන පිරිස් දැඩි විමසිලිමත් වන ලෙස
    ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ජනතාවට දන්වා සිටී.

    උපරිම ජල ධාරිතාව හේතුවෙන් වර්ෂයකට පසු වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු දෙකක් ඊයේ (20) රාත්‍රී විවෘත විය.

    දිවයිනේ වැව් හා ජලාශ රැසක් වාන් දැමුවත් කදුකරයේ විදුලිබලාගාර ආශ්‍රිත ප්‍රධාන ජලාශයක් වන වික්ටෝරියා ජලාශයේ විශාල ධාරිතාව හේතුවෙන් එය පිටාර මට්ටමට පැමිණීමට වැඩි කලක් ගත විය.

    කියුබික් ඝන මීටර් මිලියන 722ක ධාරිතාවයෙන් යුතු එම ජලාශයේ විවෘත වූ වාන් දොරටු මගින් තත්ත්පරයට ජලය ඝන මීටර් 159ක් මුදා හැරෙන බව කාර්යයභාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි.

    මෙම වර්ෂයේදී වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු විවෘත වූ පළමු අවස්ථාව මෙයයි.

    ඊයේ රාත්‍රී 08.10ට දොරටු දෙක විවෘත විය.

    එම ජලාශයේ මඩ සොරොව්ව විවෘත කිරීම ද ඊයේ දහවල් සිදුවූ අතර මිනිත්තු විස්සක කාලයක් සොරොව්ව විවෘත කොට දොරටුව අසල තැම්පත්වී තිබුණු මඩ මුදා හැරීමට ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබුණි.

    වික්ටෝරියා ජලාශය වාන් දැමීමත් සමඟ සැලකිය යුතු ජල ධාරිතාවයක් පහළ මහවැලි ගංගාවට මුදාහරින බැවින් ගංගාව පරිහරණය කරන පිරිස් දැඩිව විමසිලිමත් විය යුතු යැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සඳහන් කරයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.