fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ධන කෝටාව අලුත් වෙන දවස වෙනස් කළ නිසා රජයට මිලියන 30ක ඉතිරියක්

    ඉන්ධන කෝටාව අලුත් වෙන දවස වෙනස් කළ නිසා රජයට මිලියන 30ක ඉතිරියක්

    QR කේතය මගින් ඉන්ධන කෝටාව යාවත්කාලීන කිරීම අඟහරුවාදා දිනට වෙනස් කිරීම මගින් රු. මිලියන 30කට ඉතිරියක් රජයට ලැබී තිබේ.

    එම තීරණය ගෙන ඇත්තේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඛනිජතෙල් සේවකයන්ට ගෙවීමට සිදුවන රු. මිලියන 20කට ආසන්න අතිකාල වියදම් ඉතිරිකර ගැනීමට බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

    එමගින් වක්‍ර වියදම් ද රුපියල් මිලියන 10ක පමණ ඉතිරියක් ඇති බව අමාත්‍යවරයා කියාසිටී.

    “ජාතික ඉන්ධන අවසරපත් QR ක්‍රමවේදය මගින් ඉන්ධන ලබා දීම සතිපතා යාවත්කාලීන කිරීම ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට අඟහරුවාදා මධ්‍යම රාත්‍රිය බවට පරිවර්තනය කිරීම මගින් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යතත සමාගමේ මාසිකව රුපියල් ලක්ෂ 300ක පමණ වියදම් අඩු කිරීමට හැකි වනු ඇත. කොලොන්නාව, මුතුරාජවෙල සහ ප්‍රාදේශීය ඩිපෝ 11ක සෘජු වියදම් ලෙස වූ රුපියල් ලක්ෂ 195ක් සහ විදුලිය, ජලය, සන්නිවේධන, පිරිසිදු කිරීම ඇතුළු වක්‍ර වියදම් රුපියල් ලක්ෂ 100ක් මාසිකව වූ වියදම් පාලනය වනු ඇත.”

    එසේම මෙම ආයතනවලට අලුතින් සේවක බදවා ගැනීමක් සිදුනොකරන බවත් දැනට සේවයේ නියුතු කාර්ය මණ්ඩලය කළමනාකරණකින් යුතුව යෙදවීම හරහා වියදම් හැකිතාක් අවම කරගැනීමට කටයුතුකර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

    එසේම ස්මාට් මනුකියවීම (Smart metering) කඩිනමින් හඳුන්වා දීමට අපේක්ෂා කරන බව පැවසූ අමාත්‍යවරයා මෙහි නියමු ව්‍යාපෘතිය දෙහිවල ගල්කිස්ස නගර සභා බල ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවද පැවසීය.

    එය ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ක්‍රියාත්මක බවත් පාරිභෝගිකයන් 31000කට ස්මාට් බිල්පත් ලබාදීමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසීය.

    ඒ අනුව ඉදිරියේදී මනුකියවීමෙන් තොරව ඉලෙක්ට්‍රොනික බිල්පත් හා එස්.එම්.එස් මගින් පාරිභෝගිකයාට බිල්පත ලැ‍බීමට නියමිතය.

    ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල වියදම හැකිතාක් අවම කිරීමේ වැඩපිළිවෙළක් මේවන විට ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.