fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'IMF ණය ගන්න චීනයේ සහයත් ලැබුණා.. කඩාකප්පල් වැඩ කළොත් දැඩි පියවර ගන්නවා'...

    ‘IMF ණය ගන්න චීනයේ සහයත් ලැබුණා.. කඩාකප්පල් වැඩ කළොත් දැඩි පියවර ගන්නවා’ (📹)

    ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ චීන එක්සිම් බැංකුවේ සහය ලැබුණු බවත් ඒ රාත්‍රියේදීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) ණය ලබාගැනීමට අදාළව එකඟතා ලිපිය යැවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියාසිටියේ දැන් ශ්‍රී ලංකාව සියලු යුතුකම් ඉටුකර ඇති බවත් මේ මස 3 හෝ 4 සතියේදී IMF ප්‍රතිචාරය අපේක්ෂා කරන බවත් ය.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය සමඟ ජනාධිපතිවරයා ඊයේ රාත්‍රියේ ද සාකච්ඡාවක නිරත වී තිබේ.

    ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය පහතින්.

    “ජනතාවට විඳින්නට තියෙන අපහසුකම් ගැන මම දන්නවා. ඒකට ආණ්ඩුවක් හැටියට සමාව ඉල්ලන්ට තියෙනවා. නමුත් ඊයේ රාත්‍රියේ චීන එක්සිම් බැංකුවේ නව ලිපිය ලැබුණා. රාත්‍රියේම මහබැංකු අධිපතිවරයාත් සමඟ එකතුවෙලා එකඟතා ලිපිය අත්සන් කරලා IMF සංවිධානයට යවලා තියෙන්නේ. දැන් අපේ යුතුකම් ඉටුකරලා ඉවරයි. දැන් IMF සංවිධානය මේ මාසේ 3 හෝ 4 වෙනි සතියේදී යුතුකම් ඉටුකරයි කියලා මං බලාපොරොත්තු වුණා. ඒකෙන් පස්සේ ලෝක බැංකු (ADB) එකෙන් පළවෙනි මුදල් වටය ලැබෙන්න එනවා. ඒක කරන්නට තිබෙනවා. IMF සංවිධානය සමඟ මීට පෙර අවස්ථා 16කට කටයුතු කළ ආකාරයට නොව, මේ අවස්ථාවේදී එකඟතාවට ලබාගත හැකි ආකාරයට සැම අවශ්‍යතාවක්ම නොපිරිහෙලා ඉටු කර තිබෙනවා. එසේ නොවී නම් IMF ආයතනය ශ්‍රී ලංකාව සමඟ කටයුතු සිදුකරන්නේ නෑ…

    මේ යන වැඩපිළිවෙළ කඩාකප්පල් කළහොත් 2022 පෙබරවාරි මාසයේ රටේ පැවති භයානක තත්ත්වයට රට තල්ලු වෙයි. එවකට බොහෝ අය කල්පනා කළ වැටුප් නැතිවෙයි, විශ්‍රාම වැටුප් නැතිවෙයි. කර්මාන්ත වැසීයාවි. පාසල් හැමදාම වැහිලා තියේවි. ඒවා යම් තරමටකට පාලනය කර තිබෙනවා. නමුත් සමාජයේ විවිධ බලපෑම්කාරී කණ්ඩායම් මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් කළහොත් සමාජයේ භානයක තැනට තල්ලුවේවි. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, සාමකාමී රැස්වීම් පෙළපාලි අපි පිළිගන්නවා. ඒත් මේ උද්ඝෝෂණ මාර්ගයෙන් මේවා කරන්න යනවා නම් දැඩි පියවර ගන්නවා. ජුලි 09 වැනිදා මේ රට කඩා වැටුණා නම් අද මේ රට තියෙන්නෙ නෑ. මම විපක්ෂයෙන් ඉල්ලනවා අපි එක්ක එකතු වෙන්න. මේ ගමන යන්න ඊට පස්සේ පුළුවන් ජනාධිපතියි ආණ්ඩුවයි වෙනස් කරගන්න ඡන්දෙ තියන්න.” යැයි ද ජනාධිපතිවරයා පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.