fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දරුවන් ගොදුරු කරගත් කපුවාට එරෙහිව ලද පැමිණිලි සැඟවූ පොලිස් ලොක්කෙක් ගැන සී.අයි.ඩී.ය...

    දරුවන් ගොදුරු කරගත් කපුවාට එරෙහිව ලද පැමිණිලි සැඟවූ පොලිස් ලොක්කෙක් ගැන සී.අයි.ඩී.ය අවධානයෙන්

    බාලවයස්කාර පාසල් සිසුන් ලිංගික අපයෝජනයට ලක්කල උණවටුනේ මැටරඹ දේවාලයේ දේවගැතිවරයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිර්නාමික පැමිණිල්ල ඉදිරිපත් වීමට පෙර පැමිණිල්ලක් ගොනුවී ඇත්තේ ගාල්ලේ පිහිටි පොලිස් ස්ථානයකටය.

    එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වෙමින් මෙම දේවගැතිවරයාව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට නිසි විමර්ශනයක් නොකර පැමිණීල්ල ඉදිරිපත්කළ බාලවයස්කාර දරුවාට මුදල් ලබාදෙමින් ගොඩින් එම පැමිණිල්ල විභාග කලායැයි කියන තොරතුරක් සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානයක් යොමු වී තිබේ.

    සාක්ෂි සහිතව ඒ ගැන තොරතුරු අනිවරණය කර ගැනීමට විමර්ශන මේ වන විටත් ආරම්භ වී ඇති අතර ඊට සම්බන්ධ කිසිදු පොලිස් නිලධාරියෙකුට නීතියෙන් ගැලවීමට ඉඩ නොදෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

    අත්අඩංගුවට ගත් දේවගැතිවරයාට ලැදිව හබරාදූව පොලීසියේ මෙයට පෙර සිටි ස්ථානාධිපතිවරයෙක් කටයුතු කර ඇති බවත් ඔහු දේවාලයට ආරක්ෂාවක් පවා ලබාදී තිබුණු බවත් අනාවරණය වී ඇත. වත්මන් පොලිස් ස්ථානාධිපතිවරයාද දේවාලයේ සිකුරාදාට ආරක්ෂාවට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් යොදවා තිබී ඇත. ඒ සිකුරාදාට එම දේවාලයට විශාල පිරිසක් රැස්වන බැවින් පෙර සිටි ස්ථානාධිපතිවරු එහි ආරක්ෂාවට නිලධාරීන් යොදවා තිබීම පූර්වාදර්ශයට ගෙනය.

    අනාවරණය වෙමින් ඇති අකාරයට හබරාදූවේ හිටපු ස්ථානාධිපතිවරයෙක් මෙම දේවගැතිවරයාගෙන් ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සිය පෞද්ගලික පරිහරණයට ද යොදාගෙන තිබේ. මේ වන විට එම නිලධාරියා උසස් වීමක් ලබා සිටියදී මෙම දේවගැතිවරයා සමඟ ඉතා කිට්ටු සම්බන්ධයක් ඇතැයිද හෙළිවී ඇත.

    මෑතකදී මෙම දේවාලයේ පෙරහරක් පැවැත්වීම වෙනුවෙන් විශාල පොලිස් කණ්ඩායමක් දේවගැතිවරයා වත්මන් පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතත් එය ඔහු විසින් ප්‍රතික්ෂේපකර ඇති බවද සඳහන්ය. ඒ ගැන කුපිත වූ ගාල්ලේ මෙයට පෙර හිටපු පොලිස් ලොක්කෙන් ස්ථානාධිපතිවරයා සමඟ උරණ වෙමින් ගාල්ලෙන් පොලිස් කණ්ඩායමක් යොදවා තිිබුණු බවද අනාවරණය වී ඇත.

    මෙම දේවාලයේ ආරක්ෂාවට යෙදවෙන පොලිස් නිලධාරීන්ට රුපියල් 5000 බැගින් මුදල් ලැබෙන බවත් සෑම වර්ෂයකම අලුත් අවුරුද්ද වැනි විශේෂ උත්සව අවස්ථාවන් වලදී රුපියල් දහපහලොස් දාහක් වටිනා බඩු මල්ලක් හබරාදූවේ සෑම පොලිස් නිලධාරියෙකුටම ලැබෙන බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය. මේ හේතූන් නිසා හබරාදූව පොලීසිය මෙම දේවගැතිවරයාට ඉතා ලෙන්ගතුව කටයුතුකර ඇති බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.