fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අර්බුදයෙන් සත්තුත් අමාරුවේ

    අර්බුදයෙන් සත්තුත් අමාරුවේ

    දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු අනෙකුත් සත්වෝද්‍යානවල සිටින සතුන්ට දිනපතා ආහාර සැපයීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව සත්වෝද්‍යාන දෙපාර්මේන්තුවේ නිලධාරීන් පවසා තිබේ.

    විදේශ සංචාරකයින් පැමිණිම අඩුවීම, ඉන්ධන හිඟය නිසා දේශීය සංචාරකයින්ගේ පැමිණිම අඩුවීම, ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම වැනි කරුණු හේතුවෙන් සත්වෝද්‍යානවල සිටින සතුන් දැඩි ආහාර හිඟයකට මුහුණ පා ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පවසති.

    එමෙන්ම නඩු භාණ්ඩ වශයෙන් සිටින අලි රැක බලා ගැනීම ද සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට පැවරී ඇති බවත් ඔවුන් රැක බලා ගැනීම සඳහා වසරකට රු.මි.45ක මුදලක් වැය වන බවද එම නිළධාරින් වැඩිදුරටත් සඳහන් කරයි.

    අද (31) පෙරවරුවේ වනජීවි දෙපාර්තමේන්තුවේදී මීට අදාළව සාකච්ඡාවක් පැවති අතර එහිදී සත්වෝද්‍යාන නිළධාරින් මේ බව අවධාරණය කර තිබේ.

    සත්වෝද්‍යානවලට ආහාර සැපයුම සිදු කළ සැපයුම්කරුවන්ට මේවනවිට රු.මි.59ක මුදලක් හිඟ මුදල් වශයෙන් ගෙවීමට සිදුව ඇති බවත් වසරේ ඉදිරි කාලය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සමඟ අඩු තරමින් රු.මි.120ක පමණ මුදලක් අවශ්‍යව තිබෙන බවද එම නිළධාරින් එහිදී පෙන්වා දී ඇත.

    එහිදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇත්තේ සතුන් රැකබලා ගැනීමට උනන්දුවක් දක්වන ආයතනවල සහ
    ජනතාවගේ සහයෝගය මත කැපකරු ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙසයි.

    එමෙන්ම මහ භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර සත්වෝද්‍යාන සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම සඳහා පියවර ගන්නා බවද අමාත්‍යවරයා පවසයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.