fbpx
තවත්
    මුල් පිටුවසත්‍යගවේෂීවිදේශ විනිමය  සහ දේශීය කර්මාන්තය

    විදේශ විනිමය  සහ දේශීය කර්මාන්තය

    ශ්‍රී ලංකාව අද විදේශ විනිමය අර්බුදයකට මුහුණ පා ඇත. ආනයනය මත පදනම් වූ ආර්ථික සහ පරිභෝජන රටාවකට පාරම්පරිකව අනුගත වූයෙමු. තවමත් එලෙසම අනුගත වන්නෙමු. “ණය සාගරයක” ගිලෙමින් සිටින අප, තව දුරටත් ඉන් මිදීමේ අපේක්ෂාවක් හෝ ධරණීය ක්‍රමවේදයන් වෙත  යොමු වීමක් වෙත සිතන්නේවත් නැත.

    අකාර්යක්ෂම පරිපාලන සහ කළමනාකරණ ක්‍රමවේද හේතුවෙන්, දිනෙන් දින “ණය සයුරේ” ගිලෙන අප, ඉන් මිදීමට නොවලහා කටයුතු කල යුතුමය. මේ සඳහා අපනයන කර්මාන්තය නගා සිටවිය යුතුය. විදෙස් ආයෝජන දිරිමත් කළ යුතුවේ.

    අපි ණය බරට සිරවුනේ ඇයි?

    නිදහසෙන් පසු ගතවූ වසර හැත්තෑ තුනක කාලපරිච්ඡේදයක් තුල රට කරවූ සහ කරවන සියළු පාලකයින් තම සුඛවිහරණය වෙනුවෙන් මහජන මුදල් අවභාවිතා කළහ. තවමත් එසේ කරති.

    රටේ සංවර්ධනයට ලබාගත් ණය සහ ආධාර නිසි සංවර්ධන අරමුණින් තොරව වැය කළහ. මුදල්, සම්පත් විශාල වශයෙන් අවභාවිතා කළහ.

    “පාලකයා යනු මහජනයාගේම පිළිබිඹුවයි” යන ප්‍රවාදය අනුව පාලක-පාලිත දෙපාර්ශවයම මේ නාස්තිකාරී හැසිරීම ගැන එකසේ වගකිව යුතුවේ.

    මෙම කොවිඩ් වසංගත සමයේ රටේ ආර්ථිකයම අඩපණ වී ඇති අවස්ථාවක, ෂයිලොක් ලෙස හැසිරෙන වෘත්තිකයින්, විසුළුකරුවන් ලෙස හැසිරෙන පාලකයින්, රට වැසියන් ගේ රීරි මාංසය හූරාකන අවස්ථාවාදී කපටි ව්‍යාපාරිකයන් ඇතුළු ඔබ අප සැමගේ හැසිරීම ගැන සෑහීමකට පත්විය හැකිද?

    කිසිසේත්ම නැත!

    විදේශ විනිමය අවශ්‍ය ඇයි?

    අපි ගෝලීයකරණයේ ගොදුරකි. අපහට ලෝකයේ සිදුවන නවීකරණය සහ නව්‍යකරණය හමුවේ හති වැටෙමින් වුවද, හැල්මේ දිවිය යුතුමය. ආහාර, ඖෂධ, කර්මාන්ත අමුද්‍රව්‍ය වැනි අත්‍යවශ්‍ය දේ මෙන්ම, අතිසුඛෝපභෝගී දේ දක්වා සියළු දේ අප ආනයනය කළ යුතුවේ. එහෙත්, අප සාම්ප්‍රදායිකව අපනයනය කරන්නේ තරගකාරී සීමිත අපනයන නිෂ්පාදන කිහිපයකි. එහෙත් අපගේ ආනයනයන් අසීමිතය. ආනයනය කරන බහුතරයක් දේ අත්‍යවශ්‍ය නොවිය හැක. මෙනිසා යම් ප්‍රමුඛතාවයක් සහිතව ආනයනය කිරීමට සහ අපනයනය වර්ධනය කිරීමට උපායමාර්ගික ව කටයුතු කිරීමට ඉදිරියේදී සිදු කළ යුතුව ඇත.

    උපායමාර්ගිකව රටේ අභියෝග ජය ගැනීමට නම්:

    1. නිෂ්පාදකයින්, අපනයන කරුවන් හට දැනට වඩා සහන සැපයිය යුතුය. විදේශ ආයෝජන දිරිමත් කළ යුතුය.
    2. නිද්‍රාශීලි රාජ්‍ය සේවය වහා පිබිදවිය යුතුය
    3. රටේ නීතිමය රාමුව ශක්තිමත්ව ගොඩනැංවිය යුතුය. එමෙන්ම එහි පවතින කල්මැරීම අවම කිරීම මෙන්ම, තවදුරටත් සංවිධිත කළයුතුය.

      “එක රටක්-එක නීතියක්” ලෙස කටයුතු සිදුවිය යුතුය.

    “බලවතුන්ට සහ බවලතුන්ට” නැවෙන නීතියක් නොවිය යුතුය.

    1. තරුණ පරපුර දැනුමෙන් සහ හැකියාවෙන් සන්නද්ධ කළ යුතුය.
    2. පම්පෝරි ගසන දේශපාලනයට සහ ඇට්ටර නිළධාරීවාදයට තිත තැබිය යුතුය.

    එවිට අප සැමට ” අපි තමයි හොඳටම කලේ…” කියා සාඩම්බරයෙන් කිව හැක.

    1. දූෂණය, ඥාති සංග්‍රහ, පලිගැනීම් නතර කළ යුතුය.
    2. සුදුස්සාට නිසිතැන දියයුතුය. සවන්දීමේ හැකියාව රටක් වශයෙන් තවදුරටත් වර්ධනය කල යුතුය. තාර්කික ලෙස සිතීමේ හැකියාව වැඩිදියුණු කරගත යුතුය.
    3. ප්‍රමුඛතාවය දැක්විය යුතු දෙයට නිවැරැදි ලෙස ප්‍රමුඛතාවය දිය යුතුය.

    අපි අපේ රට නිසි දිශානතියට රැගෙන යාමට වාද භේද දුරැරලා එක්වෙමු.

    සාඩම්බරයෙන් “අපි තමයි හොඳටම කරන්නේ” කියා ලොවටම ක්‍රියාවෙන් පෙන්වමු.

    එඤ්ඤං
    මම
    සත්‍යගවේෂී

    සත්‍යගවේෂී

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.