fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් ඉතිහාසය වෙනස් වෙයි- කාන්තා ‍පොලිස් නිලධාරිනියන් 3කට එකවර DIG පුටු

    පොලිස් ඉතිහාසය වෙනස් වෙයි- කාන්තා ‍පොලිස් නිලධාරිනියන් 3කට එකවර DIG පුටු

    ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය වෙනස් කරමින් කාන්තා පොලිස් නිලධාරිනියන් තිදෙනෙකුට එකවර නියෝජ්‍ය පොලිස්පතිධූර සදහා උසස්වීම් ලබාදී තිබේ.


    මෙසේ උසස් වීම් ලැබී ඇත්තේ මෙතෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් ලෙස සේවය කරමින් සිිටි රේණුකා ජයසුන්දර, නිශානි සෙනෙවිරත්න සහ පද්මිණී වීරසූරිය යන නිලධාරිනියන් තිදෙනාය.


    මේ අයට පෙර ශ්‍රී ලංකා පොලීසියේ පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස උසස්වීම් ලැබූ බිම්ශානි ජාගොඩආරච්චි මහත්මියද සමග දැන් ශ්‍රී ලංකා පොලීසියේ කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් සිව් දෙනෙක් සිටින්නීය.

    නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය

    නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය පත්කර ඇත්තේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය භර පොලිස් ප්‍රධානියා ලෙසය.

    පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමේ කර්යාංශය මෙතෙක් පැවතියේ අපරාධ අංශය භර නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් යටතේය.

    ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමේ කාර්යාංශයට වෙනම නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් එහි ප්‍රධානියා ලෙස පත්කරනුයේ පළමු වරටය. ‍

    නියෝජ්‍ය පොලිස්පති පද්මිණි වීරසූරිය මහත්මිය පත්කර ඇත්තේ ඔහු දැනට සේවයේ නිරතව සිටින පොලිස් සුබසාධන අංශයම භාර පොලිස් ප්‍රධානියා ලෙසිණි.

    අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන අංශයේ පළමු කාන්තා අධ්‍යක්ෂවරිය ලෙස සේවය කළේද ඇයයි.

    නියෝජ්‍ය පොලිස්පති පද්මිණි වීරසූරිය මහත්මිය
    නියෝජ්‍ය පොලිස්පතිනි නිශානි සෙනෙවිරත්ත

    නියෝජ්‍ය පොලිස්පති නිශානි සෙනෙවිරත්න මහත්මිය පත්කර ඇත්තේ පොලීසියේ සැළසුම් හා සංවර්ධන අංශයේ ප්‍රධානියා ලෙසිණි.

    එහි අධ්‍යක්ෂකවරිය ලෙස මෙතෙක් සේවය කරනු ලැබුවේ නියෝජ්‍ය පොලිස්පතිධුරයට උසස්වීම් ලද රේණුකා ජයසුන්දර මහත්මියයි.

    නිශාන්ති පොලිස් සේවයට එක්වූ දා සිට මේ දක්වාම සේවයේ නිරතව සිටියේ බුද්ධි අංශයේය. ඒ රාජ්‍ය බුද්ධි සේවයේය.

    ඇය මෙම උසස්වීම ලබන විට රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරියක් ලෙස කටයුතුකරමින් සිටියාය.

    ශ්‍රී ලංකා පොලීසියේ ඉතිහාස පිරිස්සීමේදී පෙනී යන්නේ පොලිස් සේවාව මෙරට ස්ථාපිත වන්නේ ඉංග්‍රීසීන් විසින් මුහුදු බඩ ප්‍රදේශ අත්පත්කර ගැනීමත් සමග බවය. ඒ ක්‍රීස්තුවර්ෂ 1796 දීය. ඉතිහාසගත තොරතුරුවලට අනුව මුල්ම පොලිස් ස්ථානය ලෙස සැළකෙන්නේ මරදාන පොලිස් ස්ථානයයි. එහෙත් අපේ රටේ විධිමත් ආකාරයට ව්‍යවස්ථාපිතව පොලීසියක් ක්‍රියාත්මක වූයේ යැයි සැලකෙන්නේ 1866 සැත්තැම්බර් 03 වෙනිදා සිටය. එදා පත්වන පළමු පොලිස්පති ලෙස සැළකෙන්නේ ජෝර්ජ් විලියම් රොබින්සන් කැම්බල් මහතා ය. එතැන් සිට ගෙවී ගිය වසර 155ක ඉතිහාසය තුළ පොලිස්පතිවරු 35 දෙනෙක් ගේ නායකත්වය පොලිස් සේවාවට ලැබී ඇතිබව පොලිස් ඉතිහාස තොරතුරුවල සදහන්ය.

    ආරම්භයේ පටන් පිරිමි නිලධාරීන්ට පමණක් වෙන්ව තිබුණු පොලිස් සේවාවට කාන්තාවන්ට දොරගුළු විවරවන්නේ විධිමත් පොලිස් සේවාවක් මෙරට ස්ථාපිත වී වසර 87 කට පසුවය. ඒ 1953 වර්ෂයේදීය. කාන්තාවන්ට ඒ අවස්ථාව එදා හිමිකර දෙන්නේ සර්. රිචඩ් අලුවිහාරේ පොලිස්පතිවරයාය. ඔහු සැළකෙන්නේ මෙරට පොලිස් සේවාවේ 12 වෙනි පොලිස්පතිවරයා ලෙසිණි. අපේ රටේ පොලිස් සේවාවේ මුල්ම ස්වදේශීය පොලිස්පතිවරයා ලෙස සැළකෙන්නේද සර්, රිචර්ඩ් අලුවිහාරේ මහතාය. ඊට පෙර පොලිස්පතිධුරය දැරූවන් 11 දෙනාම ඉංග්‍රීසි ජාතිකයන්ය. අනුරාධපුර දිසාපති ලෙස සේවයේ නිරතව සිටි සර්,රිචර්ඩ් අලුවිහාරේ මහතා විසින් අපේ රටේ කතුන්ට පොලිස් සේවයේ දොරගුළු විවරකරන්නේ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් සිවි දෙනෙකු මුලින්ම පොලිස් සේවයට එක්කර ගනිමිනි. ඉතිහාසයේ තොරතුරුවල ලියැවී ඇති ආකාරයට අනුව මුල්ම පොලිස් කාන්තා නිලධාරිනිය ලෙස සැළකෙන්නේ සෝමා ගුණවර්ධන මහත්මියයි.

    පොලිස් සේවය තුළ කාන්තාවන්ට එදා දොරගුළු විවර වූවත් ඒ අයට ඉහළට යන්නට ඉඩක් මුල්කාලයේ නොවීය. ඒ අවස්ථාව කාන්තා නිලධාරිනියන් වෙනුවෙන් පිරිමි නිලධාරීන් සමග උරෙන් උර ගැටී උදාකර දෙන්නේ මෙරට පොලිස් ඉතිහාසය තුළ වාර්තා රැසක් තබා ඇති ප්‍රමිලා දිවාකර මහත්මියයි. ඇය පොලිස් සේවයට පොලිස් කොස්තාපල්වරියක් ලෙස එක්වන්නේ 1958 දීය. ඒ පොලීසියට බදවාගත් පස්වැනි කාන්තා කණ්ඩායමේ සාමාජිකාවක් ලෙසිණි. ඇගේ කණ්ඩායමේ සාමාජිකාවන් 13 දෙනෙක් සිටියාය. එම කාන්තා නිලධාරිනියන් සමග ඒ වන විට පොලිස් සේවාවේ සිටි සමස්ත කාන්තා නිලධාරීන් ගණන 40 දෙනෙකි. කොළඹට කේන්ද්‍රව සේවය කිරීමට මෙම නිලධාරිනියන්ට අවකාශ ලැබෙන අතර වැඩි දෙනෙක් යෙදවෙන්නේ පිළිගැනීමේ නිලධාරීන්ගේ සහ දුරකතන ක්‍රියාකරුගේ සේවා කටයුතු සදහාය. ඊට අමතරව කොළඹ පාසල් අසල පදික මාරු අසල ඒ අයව සේවයට යෙදවෙන්නේ පාසල් දරුවන් පාර හරහා මාරුකරවන්නටය.

    පොලිස් ඉතිහාසයේ සදහන් තොරතුරුවලට අනුව පොලීසියේ මුල්ම කාන්තා සැරයන්වරිය වන්නේ ප්‍රමිලා දිවාකර මහත්මියය. ඒ තනතුර ඇය විසින් හිමිකර ගන්නේ සටන්කරය. කාන්තා නිලධාරීන්ට පොලිස් සේවය තුළ ඉහළට යන්නට අවස්ථාව උදාවීමේ හැරවුම් ලක්ෂය ලෙස සැලකෙන්නේ ප්‍රමිලා දිවාකර මහත්මියගේ එම උසස්වීමය. ඇයට එම උසස්වීම පවා ලැබෙන්නේ පොලිසියට එක්ව වසර 13 කට පසුවය. ඇය එතැනින් සිය සටන අතහැරයේ නැත. 1977 වසරේදී පොලිස් සේවයේ පළමු කාන්තා උප පොලිස් පරීක්ෂිකාව ලෙසද උසස්වීම් ලැබුවාය. අනතුරුව ඇය 1984 වසරේ පළමු පොලිස් කාන්තා පරීක්ෂකවරිය ලෙසත් , 1986 වසරේදී ඇය පළමු කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකාව ලෙසත්, 1988 වසරේ පළමු කාන්තා සහකාර පොලිස් අධිකාරීවරිය ලෙසත් 1994 වසරේදී පළමු කාන්තා පොලිස් අධීකාරීවරිය ලෙසත් ඇය පොලිස් සේවාවේ වාර්තා ගණනාවක්ම තබමින් ඉහළටම ගියාය. 1939 වසාරේ ජුනි 17 වෙනිදා උපන් ප්‍රමිලා දිවාකර මහත්මිය වයස අවුරුදු 60 සැපිරීමත් සමග පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව සිටියේ 1999 වසරේදීය. ඒ වන විට ඇය සේවයේ නිරතව සිටියේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂකවරිය ලෙසිනි. ළමා හා කාන්තා කාර්යාංශයේ මුල්ම අධ්‍යක්ෂකවරිය වන්නේද ඇයය. එදා ඇයට අවුරුදු 60 න් විශ්‍රාම ගන්නට ඉඩක් නොවූවාය.ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරීධුරයට උසස්කරමින් තවත් වසර තුනක් ඇයව පොලිස් සේවාය තුළ රදවා ගත්තේය. ඒ අනුව ඇයට පොලිස් සේවාවෙන් විශ්‍රාම ගැනීමට සිදුවන්නේ 2002 වසරේදීය.
    ඇය දීර්ඝ කාලයක් තිස්සේ පොලිස් සේවාව තුළ සටන් කළේ පොලීසියේ කාන්තාවන්ට සම තැන ලබා ගන්නටය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක් ලෙස පවා ඇයට ඉහළට එන්නට අවකාශ ලැබෙන්නේ ඇයට තිබුණු ශක්තිය නිසාය. ඇය විශ්‍රාම ගැනීමෙන් අනතුරුව කාන්තාවන්ට ඉහළට ඒමේ අවස්ථාව තිබුණේ උපරිම ලෙස අහුරාය. එහෙත් ඒ සියල්ල බිද දැමුවේ ජාතික පොලිස් කොමිසම විසිනි. ඒ 2019 වසරේදීය. කාන්තා නිලධාරිනියකටද පොලිස්පතිවීමේ අවස්ථාව පවා උදාකර දෙමිනි. ඒ පොලිස් ඉතිහාසයේ පළමු වරට කාන්තා නිලධාරිනියන් අට දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීධුරයන්ට උසස් කරමිනි.
    එසේ උසස්වීම් ලබන්නේ එවකට රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තිලිණා ජයවර්ධන, පොලිස් පරියේෂණ සහ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂිකා රේණුකා ජයසුන්දර, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පද්මිණී වීරසූරිය, පොලිස් මූලස්ථාන පරිපාලන අධ්‍යක්ෂ ධිමතී පෙරියප්පෙරුම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානී දර්ශිකා කුමාරි, රාජ්‍ය බුද්ධි සේවයේ සහකාර අධ්‍යක්ෂික නිශානි සෙනෙවිරත්න, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර මදාරා ආරියසේන සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ අධික්ෂණ නිලධාරිනී ඉමේෂා මුතුමාලි යන පොලිස් අධිකාරීවරියන් අට දෙනාය.

    මෙම නිලධාරිනියන් මෙන්ම නියෝජ්‍ය පොලිස්පතිධුරයට හුදෙකලා සටනක නිරතවෙමින් ජයගත් බිම්ශානි ජාසිංහආරච්චි ද සිය උසස්වීම ලබාගන්නේ ප්‍රමිලා දිවාකර මහත්මියගේ මග ගොස් සටන් කරමිණි. එසේ නොමැතිව මේ නිලධාරිනියන් කිසිවෙකුටත් බන්දේශියක තබා උසස්වීම් ලබාදුන්නේ නැත.
    නියෝජ්‍ය පොලිස්පතිධූරයට උසස්වීම් ලද රේණුකාත් , පද්මිණිත් 1997 වසරේදී පොලිස් සේවයට එක්වූවන්ය. උප පොලිස් පරීක්ෂකවරුන් ලෙස නිත්‍ය සේවයට බදවා ගන්නා පළමු කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන්ගේ කණ්ඩායම ඔවුන් නියෝජනය කළාය.
    රේණුකා ජයසුන්දර මහත්මිය කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂිකකාව ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් සේවයේ නිරතව සිටියාය. ඇය විවහා වී සිටින්නේ පොලිස් නිලධාරියෙක් සමගිනි. මේ කණ්ඩායමේ සිටින පද්මිණි වීරසූරිය එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේද සේවයේ නිරතව සිටි තැනැත්තියකි. ඇය සේවයේ නිරතව සිට ඇත්තේ හයිටි සහ ටිමෝර් රාජ්‍යන්වලය. ඇය විවහා වී සිටින්නේ හමුදා නිළධාරියෙක් සමගිනි. නිශානි ද විවහා වී සිටින්නේ පොලිස් නිලධාරියෙක් සමගිනි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.