fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්දළදා වහන්සේ වැඩසිටින කරඬු හතේ කතාව

    දළදා වහන්සේ වැඩසිටින කරඬු හතේ කතාව

    මේ දිනවල අපේ ඓතිහාසික ශ්‍රි දළදා මාලිගාවේ පෙරහර මංගල්‍යය පැවැත්වෙන නිසා ඊට සම්බන්ධ දෙයක් ලියන්න කියලා හිතුනා.මම කියන්න දේ බොහෝවිට ඔබ දන්නවත් ඇති.ඒත් බහුතරයගේ දැනගැනිමට මේ විස්තරය කරන්න හිතුනා.
    මම කියන්නේ දළදා වහන්සේ වැඩසිටින කරඬුව ගැනයි.හැබැයි මේ කතාව මම 2017 අගෝස්තු 6 වෙනි ඉරිදා ලක්බිම පුවත්පතට ලිව්වා.ඒ මා ලියු ලිපිය බොහෝ වෙබ් අඩවි විසින් උපුටාගෙන තිබුණා අකුරක්වත් වෙනස් නොකර.ඒත් ඒ කිසිම වෙබ් අඩවියක ඒ ලිපියේ මුල් අයිතිකරුවු මගේ නමවත් අඩුගානේ පත්තරේ නමවත් සදහන් කරලා තිබුණේ නැහැ.ඒක අපිට ගැටලුවක් නැහැ ඉතින්.

    අපිට ශ්‍රි දළදා වහන්සේ පියවි ඇසින් දකින්න ලැබෙන්නේ දළදා දැක්මකදි විතරනේ.දළදා දැක්මක් සිදුවෙන්නෙත් කලාතුරකින්.දළදා වහන්සේ වැඩ ඉන්නේ කරඬු හතක් තුළයි.
    දළදා මාලිගාවේ ඇතුල් මාලිගයේ හෙවත් ගඳකිළියෙහි දළදා කරඬුව තැන්පත් කරලා තියෙනවා.විශේෂ වීදුරු කුටියක තමයි මේ සුවිසල් කරඬුව තැන්පත් කරලා තියෙන්නෙ.
    මේ සුවිසල් කරඬුවේ මාල මුතු රන්මාල ආදිය තැන්පත් කරලා තියෙන බව ඔබ කරඬුව ඈතින් සිට වන්දනා කළත් දකින්න ඇතිනේ.මේ මාල ආදිය නොයෙක් යුගවලදි රජවරු බිසෝවරු සෙන්පතිවරු හා රාජ්‍ය නායකයන් පූජාකළ ඒවා.මෙම පූජා වස්තු කවුරුන් විසින් පුජාකළාද යන්න මාලිගාවෙි ඇති කොමසාරිස් පොත නම් ග්‍රන්ථයේ සදහන් වෙනවා.
    දළදා. වහන්සේ වැඩසිටින අපට පෙනෙන සුවිසල් කරඬුව පුජාකරලා තියෙන්නේ විමලධර්මසූරිය රජතුමා විසින්.එය රිදි පාටින් යුක්තයි.මේ කරඬුව ඇතුලේ තවත් කරඩු හයක් තියෙනවා.පේසා වළලු ලඟින් මෙම සුවිසල් කරඬුව ගලවන්න හැකියි.

    පළමු සුවිසල් කරඬුව ඉවත්කළ පසු දෙවැනි කරඬුව දකින්න පුළුවන්.එහි රන්පත් සමුහයක් තියෙනවා.ධම්මචක්කපවත්තන සුත්‍රය සහ වටිනා ධර්ම පාඨ මෙම රන්පත්වල සටහන් කර තියෙනවා.එම කරඬුව බුරුම රටෙන් පුජා කළ එකක්.
    දෙවැනි කරඬුව ඉවත්කළ පසු මතුවෙන තුන්වෙනි කරඬුව අඩි 1 1/2 ක් පමණ උසකින් යුක්තයි.දඹරනින් එය නිමවා තිබෙනවා.එය ඉවත් කිරිමට යතුරක් අවශ්‍යයි.ඒ යතුර තිබෙන්නේ දියවඩන නිලමේතුමා බාරයේයි.
    තුන්වැනි කරඬුව ඉවත්කිරිමෙන්පසු හමුවෙන සිව්වන කරඬුව රත්තරනින් නිමවා තිබෙනවා.එහි මැණික් ආදිය ඔබ්බවා තිබෙනවා.එය ඉවත් කිරිමේ යතුර තිබෙන්නේ මල්වතු පාර්ශවයේ මහානාහිමියන් බාරයේයි.
    මල්වතු මහනාහිමියන් එම කරඬුව විවෘත කිරිමෙන් පසු දක්නට ලැබෙන දක්නට ලැබෙන පස්වෙනි කරඬුව පුජා කර ඇත්තේ ඇහැලෙපොළ මහ අධිකාරම්තුමා විසින්.එය අඩියක් පමණ උසයි.එම පසවෙනි කරඬුවේ යතුර තිබෙන්නේ අස්ගිරි පාර්ශවයේ මහනාහිමියන් බාරයේයි.
    මෙහි හතරවෙනි කරඬුව මල්වතු කරඬුව වශයෙනුත් පස්වෙනි කරඬුව අස්ගිරි කරඬුව කියාත් හැදින්වෙන්නේ ඒවායේ යතුරු තිබෙන්නේ ඒ ඒ මහනාහිමිවරුන් බාරයේ නිසාය.අස්ගිරි කරඬුව ඇහැලේපොල මහ අධිකාරම විසින් පුජාකර ඇති නිසා එය ඇහැලේපොල කරඩුව කියාත් හඳුන්වනවා.ඒ කරඬුව පුජාකරලා තියෙන්නේ 1816 අගොස්තු 29වෙනි ඉරිදා බව කරඬුවේ පාදමේ සදහන් කරලා තියෙනවා.

    ඇහැලේපොල විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර අමරකෝන් යනුවෙන් මහ අධිකාරම් තුමාගේ නම එහි සදහන්ව තිබෙනවා.
    එම කරඬුව ඉවත් කිරිමෙන් පස්සේ හයවෙනි කරඬුව මතුවෙනවා.හයවෙනි කරඬුවේ පැත්තක තව කුඩා කරඬුවක් දකින්න තියෙනවා.දන්ත කුමරු හා හේමමාලා කුමරිය සිරිලකට දළදා වහන්සේ වැඩමවාගෙන ආ කරඬුවයි ඒ.
    හත්වෙනි කරඬුව අඟල් හතරකින් පමණ උසකින් යුක්තයි.දළදා වහන්සේ වැඩසිටින මෙම කරඩුව බුරුම රජයෙන් පුජාකල කරඬුවක් බවයි කියන්නේ.එහි තමයි දළදා වහන්සේ වැඩ ඉන්නේ.
    ඇතැම් ව්ට කරඬුවේ යතුර බාරව සිටින මහනායක හාමුදුරුවෝ නමක් අපවත් වුනොත් අදාළ පාර්ශවයේ කාරක සභික හිමිවරුන් මුලින්ම මහනාහිමියන් ගේ පන්සලට ගිහින් එහි සිටින ප්‍රධාන ශිෂ්‍ය හිමිගෙන් දළදා කරඬුවේ යතුර බාරගන්නවා.එසේ.බාරගත් එම යතුර එම පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ අනුනායක හිමියන්ට බාර දෙනවා.අලුතෙන් මහනාහිමි නමක් පත්වෙනතුරු යතුර ජ්‍යෙෂ්ඨ අනුනායක හිමියන් බාරයේ පවතිනවා.ඇතැම්විට ජ්‍යෙෂ්ඨ අනුනායක හිමියන් මහනායක ධුරයට පත්වුනොත් දළදා යතුර උන්වහන්සේ බාරයේම පවතිනවා.වෙනත් හිමිනමක් මහනායක ධුරයට පත්වුවහොත් ජ්‍යෙෂ්ඨ අනුනාහිමියන් විසින් දළදා යතුර අභිනව මහානාහිමියන්ට බාර දෙනවා.
    මේ අනුව බලනවිට දළදා ප්‍රදර්ශනයක් කරන්න මල්වතු අස්ගිරි මහානායක හිමිවරු හා දියවඩන නිලමේ එක්විය යුතුයි.
    දළදා වහන්සේ ප්‍රදර්ශනයට තබන අවස්ථාවලදි තැන්පත් කිරිමට වෙනම රන් කරඬුවක් තිබෙනවා.එය ප්‍රදර්ශන කරඬුව ලෙසත් හදුන්වනවා.රන් නෙළුම් මලක් උඩ කොපුවක දළදා වහන්සේ රඳවා ප්‍රදර්ශනයට තබනවා.
    පෙරහර සදහා හස්තියා මත තැන්පත් කරන්නේ තවත් කරඬුවක්.පෙරහර කරඬුව ලෙස එය හදුන්වනවා.පෙරහර කරඩුව වගේම ප්‍රදර්ශන කරඬුව තැන්පත් කර තිබෙන්නේ දළදා වහන්සේ වැඩසිටින කරඬුව පිහිටි වීදුරු කුටිය තුළමයි.

    ධර්ම ශ්‍රි තිලකවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.