fbpx
තවත්
    මුල් පිටුවමුල් පිටුවඅංගොඩ ලොක්කා ඉන්දියාවේදී මරලා!

    අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මරලා!

    ඉන්දියාවට පලාගොස් එහි ජීවත් වූ අංගොඩ ලොක්කා නැමැති පාතාලයේ ප්‍රබලයාට ඔහුගේ අනියම් බිරිද විසින් වස ලබාදී ඝාතනය කර ඇති බවට තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී තිබේ.

    අංගොඩ ලොක්කා ඝාතනය කර ඇති ඇත්තේ මෙයට සති දෙකකට පෙරය.

    ඒ ඔහු කායවර්ධන ව්‍යායාම්වල නිරතව සිටින බැවින් ඒ වෙනුවෙන් ගත් ශක්ති ජනක පානයට වස කවලම් කරමින් බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත.

    පසුගිය දිනවල ඔහු රිය අනතුරකටද ලක්ව සිට ඇත.

    ඔහු එරට සිට වසර තුනක් තිස්සේ සිය ගෝලබාලයින් මගින් මෙරට මත්කුඩු ජාවාරම සහ පාතාලයේ කටයුතු මෙහෙයවමින් සිටියේය.

    ඝාතනය පිළිබඳ තොරතුරුවල සත්‍ය ඇත්ත නැත්ත ඉන්දියාවෙන් නිල වශයෙන් දැන ගැනීමේ කටයුතුවල මෙරට ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ නිරතව සිටී.

    මෙරට බුද්ධි අංශවලට ලැබී ඇති තොරතුරුවලට අනුව අංගොඩ ලොක්කා ඉන්දියාවේ කොලොම්බුතූර් ප්‍රදේශයේ පදිංචිව සිටී.

    අංගොඩ ලොක්කා සිය අනියම් බිරිද ලෙස තබාගෙන සිට ඇත්තේ ඔහුගේ සමීපතම මිතුරෙකුගේ බිරිදකි.

    රත්තරන් නැමැති එම සමීපතයා 2017 වසරේ ජනවාරි මාසයේදී ඝාතනය කර තිබුණි.

    අනතුරුව ඇය අංගොඩ ලොක්කා විසින් සිය අනියම් බිරිද ලෙස තබාගෙන සිට ඇති බවට පොලීසියට තතු ලැබී තිබුණි.

    2017 වසරේ පෙබරවාරි 27 වෙනිදා මාකදුරේ මධුෂ් සමග එක්වෙමින් කළුතර එතනමඩලේදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ලකර සමයං නැමැති පාතාලයේ ප්‍රබලයා ඇතුළු හත් දෙනෙක් ඝාතනය කළ පසු අංගොඩ ලොක්කා සිය විශ්වාසවන්තම ගෝලයා වන අතුරුගිරියේ ලඩියා සමග ඉන්දියාවට බෝට්ටුවක නැගී පලාගොස් තිබේ.

    මාස කිහිපයක් ඉන්දියාවේ රැදී සිටි ඔවුන් ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර දෙකකින් ඉන්දියාවේ සිට ඩුබායි පළා යන්නට සූදානම් වී ඇත.

    එහිදී චෙන්නායි ගුවන් තොටුපොලේදී ඉන්දියානු ආරක්ෂක අංශවලට හසුවී තිබේ.

    ඉන් පසු දිගටම ඔවුන් ජීවත් වූයේ ඉන්දියාවේය.

    සිය අනියම් බිරිදවද ඔහු ඉන්දියාවට ගෙන්වාගෙන ජීවත් විය.

    එරට සිට ඔහු මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම මෙන්ම ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම්වලද නිරත වූ බවට දැනගන්නට ඇත.

    ඔහුට කප්පම් නෙගෙවූ ව්‍යාපාරිකයන් තිදෙනෙකුට ගෝලයින් යොදා වෙඩි තබා තිබුණු අතර දෙදෙනෙක් ඝාතනය කර තිබුණි.

    අංගොඩ ලොක්කාගේ අවසන් කටයුතු මේ වන විටත් ඉන්දියාවේ සිදුකර ඇති බවත් ඔහුගේ ඝාතනයට මුල්වී ඇත්තේ බල අරගලයත් බවත් බුද්ධි අංශ වලට ලැබී ඇති තොරතුරුවල සදහන් වේ.

    ඔහුගේ ඝාතනය ගෝලබාලයින්ම සැළසුම් කර බිරිද මගින් කර ඇති බවද පැවසේ.

    කෙසේවෙතත් ඊයේ සවස් වන විටත් අංගොඩ ලොක්කාගේ මව් පියන් සහ සහෝදරිය සාමාන්‍ය ලෙස සිට ඇති බවත් එවැනි මරණයක් ගැන ඒ අය නොදන්නා බවත් බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ සොයා බැලීමකදී පෙනී ගොස් තිබේ.

    එසේම ඔහුගේ විවාහක බිරිදගෙන්ද මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ නිලධාරීන් තොරතුරු විමසා ඇත.

    ඇය සදහන් කර ඇත්තේ රිය අනතුරකට ලක්ව ඔහු රෝහල්ගත කර ඇතැයි තමාට දැන ගන්නට ලැබුණු බවත් සති දෙක තුනක සිට ඔහුගෙන් ඇමතුමක් නොලැබුණු බවත් ය.

    ඇය පදිංචිව සිටින්නේ සිය දරුවන් සමග ඇඹිලිපිටිය ප්‍රදේශයේ ය.

    මේ තත්වය මත පොලිස් බලධාරීන් ඊයේ රාත්‍රිය වන විට ඉන්දියාවේ චෙන්නායි හී පිහිටි මෙරට මහාකොමසාරිස් කාර්යාලයෙන් ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසා ඇත.

    නිල වශයෙන් තොරතුරක් ලබාදීමට මහකොමසාරිස් කාර්යායේ නිලධාරීන් අපොහොසත් වී ඇති නමුත් ඒ පිළිබඳ තොරතුරු ලබාදීමට අපේක්ෂිතය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.