fbpx
තවත්
    මුල් පිටුවක්‍රීඩාසුකොමලත්වය අතැරි ගර්භනීයත්වය - ඇලීසියා මොන්ටානෝ

    සුකොමලත්වය අතැරි ගර්භනීයත්වය – ඇලීසියා මොන්ටානෝ

    මිනිස් සමාජයේ ගැහැණුන් ගැබ් දැරීම සලකන්නේ සුවිශේෂ කටයුත්තක් ලෙසයි. සෑම සත්ත්ව වර්ගයක් ම තම වර්ගයා බෝ කිරීම ප්‍රධාන කාර්ය ලෙස සලකා සිටිද්දී මිනිස් සමාජය ඊට වැදගත් කමක් දෙන්නේ සංස්කෘතික, ආගමික හා සමාජීය වැදගත්කමත් සමඟ ගලපාගෙනයි.

    මෙනිසාම ගැබිණි මව ඉතා පිවිතුරු සංකේතයක් ලෙස බොහෝ සමාජයන් වටහා ගෙන සිටිනවා. ගර්භනීයත්වයේ පිවිතුරු බව සමඟ සංයමය, මෘදු බව වගේ ලක්ෂණත් ඊටම එකතු කර ගන්නේ මේ නිසාමයි. නමුත් සැබෑවටම ගැබ් දැරීමේ හැකියාව යනු මුදු මොලොක් දෙයක් වඩා කාන්තාවක සතු දරා ගැනීමේ ශක්තිය ප්‍රකට කරවන්නක්. ගැබක් දරන්නට පෙර කාන්තාවක් ගිය ඉක්මන් සැහැල්ලු ගමන ගැබ් දැරූ පසු නොයන්නේ සැබවින්ම කළලයේ රැකවරණය උදෙසාමයි. නමුත් ලෝකයේ දරන්නට අමාරුම වේදනාව යැයි සැලකෙන ප්‍රසව වේදනාව දරණ කාන්තාවක් කියන්නේ සෙමින් ගමන් යන බාළ බොළඳියක්ම විය යුතු නැහැ. මේ වග මෑත කාලයේ සමාජයට ඔප්පු කළ කෙනෙක් තමයි ඇලීසියා මොන්ටානෝ.

    1986 නිව්යෝර්ක් හි ක්වීන්ස් හි උපත ලබන ඇලීසියා මොන්ටානෝ වෘත්තියෙන් ඇමරිකා එ.ජ. නියෝජනය කරන මළල ක්‍රීඩිකාවක්. ඔලිම්පික් ක්‍රීඩා සඳහා ද සහභාගීත්වය ලබමින් පදක්කම් දිනාගත් ඈ තුන් වරක් ඇමරිකානු ජාතික ශූරතාවය තමන් නියෝජනය කරන මීටර් 800 මළල ක්‍රීඩා ඉසව්වෙන් දිනා සිටින්නියක්. නමුත් ඈ ගැන කතා බහ වැඩි පුරම යොමු වන්නේ ඈ පල කළ එම දස්කම් වලට වඩා 2014 වර්ෂයේ දී අටමස් ගැබිනියක ලෙස ලෙස ගැබත් දරාගෙන මළල ක්‍රීඩාවේ වෙනදා මෙන් නිරත වීම නිසයි. එය නැවත 2017 වර්ෂයේ දී ත් පස්මස් ගැබිනියකව සිටිය දී ක්‍රීඩා ලෝකය හමුවේ ප්‍රදර්ශනය කරනවා.

    ක්‍රීඩාවේ දී නිතරම ඈ හිසේ මලක් පැළඳ සිටීමත් විශේෂත්වයක්. එය ඈ විසින් ස්ත්‍රීත්වයේ ප්‍රකාශනක් ලෙස යොදා ගන්නා බව පැවසෙනවා. සාමාන්‍යයෙන් මළල ක්‍රීඩිකාවක් කියන්නේ ශරීර ශක්තිය ඉතා ඉහළින් පවත්වාගත යුතු එනිසාම ස්ත්‍රී භාවභාව ලීලාවන් සිරුරෙන් මදක් ඉක්මුනු තැනැත්තියක්. නමුත් ඇලීසියා ගර්භනීයත්වය දැරීමත්, ඇය එය නොසඟවා ක්‍රීඩා මංතීරුවේ ප්‍රදර්ශනය කිරීමත්, ක්‍රීඩාවේදී ඇය ප්‍රදර්ශනය කරන ස්ත්‍රීත්වය පිලිඹිබු කරන සංකේතයත් පුරුෂයන් වෙත නතු ව ඇති ක්‍රීඩාවේ දී ස්ත්‍රීත්වයේ ශක්තිය පිළිඹිබු කරනක් බව වටහා ගත හැකියි.

    “දරුවකු ලැබීම යනු තමන්ගේ අරමුණු වෙත ලඟා වීම සීමා කරන්නක් නොවෙයි. මට මවක් වගේම චැම්පියන් කෙනෙකුත් වෙන්න පුලුවන්” යැයි ගර්භනීයත්වය දරමින් ක්‍රීඩාව අතනොහැරීමේ හේතුව දක්වන ඇලීසියා තවමත් සක්‍රීය මළල ක්‍රීඩිකාවක්. ඒ වගේම ආදරණීය තිදරු මවක්. 2019 වර්ෂයේ ලෝක කාන්තා දිනය දා නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට සුවිශේෂී සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ඇලීසියා “සිහින මාතෘත්වය” නම් වැකිය උදෘත කරමින් තව දුරටත් පැහැදිලි කරන්නේ ගැහැණියක ලෙස මාතෘත්වය දැරීමේ කැමැත්ත ක්‍රීඩාවට ඇති ආදරය හා කැපවීම හේතුවෙන් යටපත් වන තවත් දහසක් ක්‍රීඩිකාවන් වෙනුවෙන් හඬ ගනිමිනුයි.

    ඇලීසියා ගේ නිර්භීත බව ගැන පැහැදුනු ලෝ ප්‍රකට නයික් සමාගම ඔවුන් හා ගිවිසුම් ගත වන ක්‍රීඩිකාවන් ගේ ගර්භනීකාලය සුරක්ෂිත කිරීම උදෙසා නව ප්‍රතිපත්තියක් පවා හඳුන්වාදෙනු ලැබුවා. එය පසුව තවත් ප්‍රකට ක්‍රීඩා භාණ්ඩ අලෙවි සමාගම් තුනක් විසින් අනුගමනය කරන ලද බව ද සදහන්.

    එසේ නම් ඇලීසියා විනාඩි දෙකයි තත්පර තිස් දෙකක දී පෙන්වා සිටින්නේ වෘත්තීය ක්‍රීඩිකාවන්ට පමණක් නොවෙයි ගුවන් නියමු, වෛද්‍ය, විද්‍යාඥ, අභ්‍යාවකාශගාමී ආදී අසීරු සහ අධික කැපවීම් සහිත වෘත්තීන් හි නියැලෙන ලෝ වටා දහස් ගණනක කාන්තාවන්ට මාතෘ සිහිනය මෙන්ම වෘත්තීය ද එක සේ සමබරව කරගෙන යාමට ඇති ශක්තියයි.

    සජිනි උයන්ගොඩ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.