fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඊශ්‍රායලයට මිසයිල වරුසාවක් -යානයක එමින් සිටි ලාංකිකයන් ගැන දැනුම්දීමක් (📹)

    ඊශ්‍රායලයට මිසයිල වරුසාවක් -යානයක එමින් සිටි ලාංකිකයන් ගැන දැනුම්දීමක් (📹)

    ඉරානය විසින් ඊශ්‍රායලයට ඊයේ රාත්‍රී (13) එල්ල කරන ලද මිසයිල හා ඩ්‍රෝන් ප්‍රහාර වරුසාව හමුවේ ඊශ්‍රායලයට පැමිණෙමින් තිබියදී යළි හරවා යැවූ යානයක සිටි බව කියන ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු ලබාගනිමින් සිටින බව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

    Fly Dubai ගුවන් සේවයට අයත් FZ1625 දරන ගුවන් යානය ඊයේ රාත්‍රී 20.10 ඩුබායි සිට ටෙල් අවිව් දක්වා ගමන් කරමින් තිබිය දී ගුවන් ප්‍රහාර පිළිබඳව තොරතුරු අනාවරණය වීමත් සමඟම ගුවන් යානය යළිත් හරවා ඩුබායි බලා පියාසර කර ඇත.

    එහි ඊශ්‍රායලය බලා පැමිණීමට සිටි ශ්‍රී ලාංකිකයන් සිටි බවත් ඔවුන් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට කටයුතු කෙරෙමින් පවතින බව හෙතෙම කීය.

    ඉරානය විසින් ඊශ්‍රායලයට ඊයේ රාත්‍රී (13) ෂෙල් හා මිසයිල ප්‍රහාර 500 කට වඩා ඊශ්‍රායලය ඉලක්ක කර එල්ල කර ඇතත් ඒ සියල්ල ගුවනේ දී විනාශ කිරීමට ඊශ්‍රායල් Iron Dome පද්ධතිය සමත් වූ බව ද තානාපතිවරයා කීය.

    කුඩා දැරියකට සිදුවූ තුවාලයක් හැරුණු විට ඊශ්‍රායලයේ කිසිඳු අයෙකුට මේ දක්වා අනතුරක් ඇතිවූ බව වාර්තා වී නැති බව තානාපතිවරයාගේ නිවේදනයේ දැක්වේ.

    පවතින තත්ත්වය හමුවේ ජෝර්දානය ලෙබනනය, ඉරාකය, ඊශ්‍රායලය, ආදී රටවල් හරහා සිදුවන ගුවන් ගමන්, එම කලාපය මඟහැර වෙනත් මාර්ග ඔස්සේ යුරෝපයේ රටවල් වෙත ගමන් කිරීම හේතුවෙන් අදාළ ගමන් සඳහා ගතවන කාලය මෙන්ම ප්‍රවේශපත්‍ර ගාස්තු ද ඉහල ගොස් ඇත.

    එම නිසා මැදපෙරදිග කලාපයේ හා යුරෝපීය රටවල් සඳහා ගමන් කිරීමට ගුවන් ටිකට්පත් ලබාගෙන ඇති පිරිස තම ගුවන් ගමන් බලපත් නැවත පරික්ෂා කරගන්නා ලෙස නිමල් බණ්ඩාර මහතා දැනුම් දෙයි.

    ඊශ්‍රායලයට පැමිණෙන හා ඊශ්‍රායලයෙන් පිටත්ව යන ගුවන් යානාවල ප්‍රමාදයන් පවතින බව ඔහු පෙන්වා දෙයි.

    2024 අප්‍රේල් මස 13 වැනිදා ශ්‍රී ලාංකිකයන් දෙදහසකගේ පමණ සහභාගිත්වයෙන් ජෙරුසෙලම් ගන්ශකර් ක්‍රීඩාංගනයේ දී රාත්‍රී 9 දක්වා බක්මහ උළෙල ඉතා සාර්ථකව පැවැත්වු බව ද තානාපතිවරයා සිහිපත් කළේය.

    එහි පැමිණි ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා බක්මහ සැමරුමෙන් අනතුරුව තම වාසස්ථාන කරා පිටත්ව ගොස් තිබු බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙහි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන අතර ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසත් තානාපතිවරයා වැඩිදුරටත් දන්වා සිටී.

    මේ අතර එරට පුවත් වාර්තා පෙන්වා දෙන්නේ ඊයේ ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද මෙම පෙර නොවූ විරූ ප්‍රහාරයෙන් ඊශ්‍රායලයට ඩ්‍රෝන සහ මිසයිල 300කට වැඩි ප්‍රමාණයක් දියත් කළ බව ඊශ්‍රායල හමුදාව නිවේදනය කළ බවය.

    ඊශ්‍රායල හමුදා ප්‍රකාශක රියර් අද්මිරාල් ඩැනියෙල් හගාරි පැවසුවේ මෙම මිසයිල හා ෂෙල් දියත් කිරීම්වලින් 99%කටම බාධා කොට බිඳවැට්ටවූ බවයි.

    ඊශ්‍රායලයට ළඟාවීමට පෙර ඩ්‍රෝන යානා 170 ක් සහ කෲස් මිසයිල 30 ක් බිම හෙළා ඇති අතර, බැලස්ටික් මිසයිල 110 න් කිහිපයක් හරහා ගොස් වළක්වා තිබුණි. කෙසේවෙතත් 12 දෙනෙකුට තුවාල සිදුවූ බවට ද එම වාර්තාවල දැක්වේ.

    මෙය කලාපීය සතුරන් අතර දිගුකාලීන රහසිගත යුද්ධයේ ප්‍රධාන තීව්‍රතම අවස්ථාවක් බව ද එම හමුදා පවසා තිබුණි.

    ඉරානයට එරෙහි ඕනෑම නව ආක්‍රමණයකට එරෙහිව වැඩි බරක් ඇති කනගාටුදායක ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි ඉරාන ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණි.

    ඉරානයට එරෙහි කිසිදු ඊශ්‍රායල ප්‍රහාරයකට අමෙරිකාව එක් නොවන බව ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත.

    ප්‍රබෝධා හෙට්ටිආරච්චි

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.