fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අර්බුදයට සහනයක් වෙන්න ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් කොළ එළි රැසක්

    අර්බුදයට සහනයක් වෙන්න ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් කොළ එළි රැසක්

    ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට සහනයක් ලබාගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) ණය වැඩසටහන සම්බන්ධයෙන්‌ පැවැත්වෙන තාක්ෂණික සාකච්ඡා මැයි 24 දිනෙන්‌ අවසන්‌ වීමට නියමිතය.

    සාකච්ඡා ඒ වනවිට අවසන් කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශක ගැරී රයිස්‌ වීඩියෝ මාධ්‍ය හමුවකට එක්වෙමින්‌ පවසා ඇත.

    එමෙන්ම මෙරට ආර්ථික සංවර්ධනය හා දේශපාලනික තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුව ශ්‍රී ලංකාවට උපකාර කිරීමට කැපවී සිටින බවත්‌ ඔහු පවසා තිබේ.

    මෙරට මුහුණදී සිටින අර්බුදය කාලෝචිත ලෙස විසඳාගැනීම සඳහා අදාළ පාර්ශ්වකරුවන්‌ සමග සාකච්ඡා කරන බවත්‌ ගැරී රයිස්‌ වැඩිදුරටත්‌ පවසා ඇත.

    මේ අතර ආර්ථික බලවතුන් හත්දෙනාගේ කණ්ඩායම වන ජී7 කණ්ඩායමේ මුල්‍ය ප්‍රධානීන් ශ්‍රී ලංකාව සඳහා ණය සහන ලබා දීමේ ප්‍රයත්නයන්ට සහාය දෙන බව ඊයේ ජර්මනියේ පැවති රැස්වීමක කෙටුම්පතක ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත.

    ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව ස්වෛරීත්ව ණය ගෙවීම පැහැර හැර ඇති මොහොතක ය.

    ජී 7 රටවල් ඔවුන්ගේ ප්‍රකාශයේ දී කියා සිටියේ ශ්‍රී ලංකාව දිගුකාලීන විසඳුම් සොයා ගැනීමට කැපවී සිටින අතර විභව ණය වැඩසටහනක් සඳහා ජාත්‍යන්තර මූල්ය අරමුදල සමඟ සාකච්ඡා කරන ලෙසයි.

    මේ අතර මෙරට ස්වෛරීත්ව බැඳුම්කර ගෙවීම් පැහැර හැරීමට ලක්වුව ද මූඩීස් ආයෝජන සේවාව මගින් මෙරට ණය වර්ගීකරණය තවදුරටත් CA- ස්ථාවර මට්ටමට නම් කර තිබේ.

    ඒ ස්වෛරීත්ව බැඳුම්කර පියවීම සඳහා හිමිව තිබූ දින 30 ක සහන කාලය මැයි 18 වනදායින් ඉකුත්වීමෙන් අනතුරුවයි.

    කිසියම් රටක ණය ගෙවීම ප්‍රකෘතිමත්වීම සියයට 35 ත් 65 ත් අතර හැකියාවකින් යුක්ත වන විට මූඩීස් මගින් CA වර්ගීකරණය නිකුත් කරයි.

    එසේ වුවත් මේ වනවිට රටේ විදෙස් සංචිතය ඍණ මට්ටමක පැවතීම පිළිබඳව ද මූඩීස් අවධානය යොමුකරන බව පවසා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.