fbpx
තවත්
    මුල් පිටුවspecialනීතිඥයෙක් මුල්පුටුවේ ඉන්න නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ අක්‍රමිකතා රැසක්

    නීතිඥයෙක් මුල්පුටුවේ ඉන්න නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ අක්‍රමිකතා රැසක්

    (ජූඩ් සමන්ත)

    අපේ රටේ ජීවත් වන මිනිසුන්ට තමන්ට අවැසි කරුණක් සදහා යා හැකි ආසන්නතම රාජ්‍ය ආයතනයක් වන්නේ පළාත් පාලන ආයතනයයි.රට පුරා ජීවත් වන සෑම පුරවැසියෙකුම නියෝජනය කරමින් මෙම පළාත් පාලන ආයතන වලට නියෝජිතයින් පත් වී සිටින්නේය.ඒ මහජන කැමැත්න අනුව ලබා දී ඇති ඡන්දයනි.ඒ අනුව පළාත් පාලන ආයතන වෙත තේරී පත් වන සියළුම නියෝජිතයින් තමන්ගේ ගමට වැඩක් කරන්නට බැදී සිටින්නේය.මන්ද ඔවුන් නියෝජනය කරණු ලබන්නේ තමන් පදිංචිවී සිටින ගම වන බැවිනි.

    නමුත් අවාසනාවක තරම වන්නේ අප රටේ වැඩිම දුෂණයක් ප්‍රමාණයක් සිදු වන්නේ මෙකී පළාත් පාලන ආයත වලින් වීමය.පසුගිය කාලයන්හී රජයේ විගණන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තා අනුව ඒ බව මොනවට පැහැදිලි වන්නේය.

    පුත්තලම දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවද ඒ ආකාරයේම පළාත් පාලන ආයතනයකි.මෙම පළාත් පාලන ආයතනයේ මුල් පුටුව හෙවත් සභාපති ධූරය උසුලනු ලබන්නේ නීතිඥවරයෙකු විසිනි. 2020 වර්ෂය තුළ නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව තුළද විවිධ අක්‍රමිකතා සහ සැක කටයුතු මුල්‍ය ගණුදෙණු සිදුවී ඇති බවට අප විසින් කරන ලද තොරතුරු සොයා බැලීමකදී අනාවරණය විය. එසේ අනාවරණය වූ තොරතුරු වල නිරවද්‍ය තාවය තහවුරු කර ගැනීම සදහා තොරතුරු දැන ගැනීමේ පනත උපකාරී කර ගන්නට මෙම ලියුම්කරු කටයුතු කළේය.
    ඒ අනුව නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව සම්බන්ධයෙන් 2020 වර්ෂය තුළ සිදු කරන ලද ජාතික විගණන වාර්තාව ලබා ගන්නට මෙම ලියුම්කරුට හැකියාව ලැබුනේය.

    ජාතික විගණන කාර්යාලය විසින් 2020 වසර සදහා නිකුත් කර ඇති වාර්තාවේ අවිධිමත් ගනු දෙනු නම් තීරුවේ මෙසේ සදහන් වේ.

    “එස්.එම්.දිසානායක නමැති බලයලත් මිනුම්දෝරු තැන විසින් 2001 මැයි මස 20 වන දින සකස් කර ඇති මාවිල – කීනකැලේ වත්ත ඉඩමේ අංක 2622 දරණ පිඹුරුපත අනුව ඉඩමේ හිමිකරු විසින් හෙක්ටයාර් 2.03988 ක් වූ සම්පූර්ණ ඉඩම හෙක්ටයාර් 0.99022 බැගින් ලොට් 02 සහ ලොට් 03 වශයෙන් අනුබෙදුම් කර ඇත.එම ඉඩම් පිළිවෙලින් අංක 7168 සහ 7169 දරණ පිඹුරු පත් සහ 10076 හා 10077 දරණ ඔප්පු මගින් එකම දිනයකදී එනම් 2019 සැප්තැම්බර් මස 26 වැනිදා බෙලින්කෝ ප්‍රොපටි ඩිවොලොප්මන්ට් (පුද්) සමාගම වෙත විකුණා ඇත.අදාල ඉඩම් පෙර සදහන් කර ඇති දේපල සමාගම විසින් අනු බෙදුම් කිරීම සදහා එකම දිනකදී එනම් 2020 මාර්තු මස 12 වැනිදා නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් අදාල ඉඩම් දෙක අනු බෙදුම් කිරීම සදහා අනුමැතිය ලබා දී ඇත.හෙක්ටයාර් දෙකකට වැඩි එකම ඉඩමක් ඉඩම් දෙකකට පිඹුරු පත් සකස් කිරීම එකම දිනකදී සිදු කර තිබීමත්, එම ඉඩම් දෙක අනු බෙදුම් කිරීම සදහා එකම දිනක අනුමැතිය ලබා දීම ඒ සම්බන්ධයෙන් වන නීති රීති වලින් ගැලවී යාමට කර ඇති උත්සාහයකි.ඒ හේතුවෙන් කිසියම් ඉඩමක් අනු බෙදුම් කිරීමේදී පොදු කටයුතු සදහා වෙන් කරන පර්චස් 64 ක භූමි කොටසක් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවට අහිමි වී ගොස් ඇත.”

    උක්ත කරුණූ සළකා බලන කළ පෙර සදහන් කර ඇති කීනකැලේ වත්ත ඉඩම පිඹුරු සහ ඔප්පු එකම දිනක සකස් කිරීමත්,එසේ සකස් කරන ලද ඉඩම් කැබලි දෙක අනු බෙදුම් කිරීම සදහා එකම දිනයකදී එනම් 2020.03.12 වැනිදා අනුමැතිය ලබා දීම තුළින් පොදු කටයුතු සදහා නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවට පර්චස් 64 ක කොටසක් අහිමිවී ගොස් ඇත.එම ඉඩම් කොටස අහිමිවීම තුළින් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවට ලක්ෂ ගනනක් වටිනා භෞතික දේපලක් අහිමිවී ගොස් ඇත.එම තත්ත්වය මත කීනකැලේ වත්ත අනු බෙදුම් කිරීමේදී පැහැදිලි ලෙසම දුෂණයක් සිදුවී ඇති බව විගණන වාර්තාවේ සදහන් වේ.

    “කිසියම් ඉඩමක් අනු බෙදුම් කරන විට අදාල ඉඩමෙන් 10% ක භෞතික ප්‍රමාණයක් පොදු කටයුතු සදහා වෙන් කළ යුතු බවට 1996 අගෝස්තු මස 06 වැනිදා නිකුත් කර ඇති අංක 935/6 දරණ ගැසට් පත්‍රයේ 22(1) විධිවිධාන පනවා ඇත.ඒ අතර කටුනේරිය – බෝගහලන්ද ඉඩම අනු බෙදුම් කරන විට 10% ක් වන ඉඩම් ප්‍රමාණය භෞතිකව වෙන් කළ යුතු බවට නාගරික සංවර්ධන අධිකාරිය විසින් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවට දන්වා ඇත.2020 ජූලි මස 09 වැනි දින පැවති නාගරික සංවර්ධන අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් සැළසුම් කමිටුව විසින්ද එය අනුමත කර තිබුණි.නමුත් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව එම අනුමැතිය නොසළකා අදාල ඉඩමේ 10% ක ප්‍රමාණය භෞතිකව ලබා නොගෙන වෙළද පළ වටිනාකම මුදලින් ලබා ගැනීමට නිර්දේශ කර ඇත. එසේ නිර්දේශ කර ඇති මුදලවත් 2020 මාර්තු මස 04 වැනිදා සිදු කරන ලද විගණන අවස්ථාව වන තුරුත් අය කර ගැනීමට සභාව කටයුතු කර නැතත්,අනු බෙදුම් කිරීම සදහා වන අවසරය ලබා දී ඇති බවද විගණනයේදී හෙලිවී ඇත.”

    රජය විසින් ගැසට් පත්‍රයක් විසින් පනවා ඇති කිසියම් ඉඩමක් අනු බෙදුම් කිරීමේදී පොදු කටයුතු සදහා වෙන් කරණු ලබන ඉඩම් කොටස භෞතිකව ලබා ගත යුතුව යන නියමයන් මෙම කටයුත්තේදී නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව විසින් පැහැර හැර ඇති බවක් දක්නට ඇත.ගැසට් පත්‍රයක් නිවේදනයක් මගින් පනවා ඇති නියමයන්ද නොසලකා හරිමින් සිදු කර ඇත්තේ කිසියම් වංචාසහගත ක්‍රියාවක්ද යන්න විගණන නිලධාරීන්ද සැක පහළ කර ඇත.

    නාත්තන්ඩිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සදහා ඝෝ ඝාතකගාරයක් ඉදි කිරීම සදහා 2002 වර්ෂයේදී පුද්ගලයින් 04 දෙනෙකුට රුපියල් 600,000 ක මුදලක් සභාව විසින් ලබා දී ඇත.නමුත් එම ඝෝඝාතකාගාරය ඉදි නොකිරීම හේතුවෙන් අදාල මුදල ආපසු අය කර ගැනීමට සභාව කටයුතු කර නැත.ඉහත මුදල වහාම අය කරන ගන්නා ලෙස 2016 ඔක්තොම්බර් මස 13 වැනිදා පැවති ගිණුම් කාරක සභාවේදී උපදෙස් ලබා දී තිබුනත් එම කටයුත්ත 2020 දෙසැම්බර් මස 31 වැනිදා සිදු වී නොමැති බවද විගණනයේදී අනාවරණය වී ඇත.

    ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කර ඇති වාර්තාවේ සදහන් වන අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු දැන ගැනීම සදහා අප නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපති නීතිඥ රොෂාන් නිලන්ත ප්‍රනාන්දු මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක විය.අනතුරුව නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ලේකම් චන්දන කුමාර මහතාගෙන් අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළේය.හෙතෙම කියා සිටියේ සිදුවී ඇති අඩු පාඩු කඩිනමින් නිවැරදි කිරීමට කටයුතු කරන බවය.

    ජුඩ් සමන්ත

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ අක්‍රමිකතා සම්බන්ධයෙන් ජූඩ් සමන්ත නම් අයෙකු විසින් පළකර ඇති ඇති අසත්‍ය කරුණු දැක්වීමක් සමාජ මාධ්‍යයන්හි සංස්කරණය කර ඇත.
      ඒ අනුව අදාල කීනකැලේ ඉඩම සම්බන්ධයෙන් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 11(1)උප වගන්තිය ප්‍රකාර විගණකාධිපති වාර්තාව අනුව, පළාත් පාලන කොමසාරිස්තුමා විසින් කරන ලද පරීක්ෂණයක් අනුව නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවට මූල්‍යමය පාඩුවක් සිදු කර නොමැති බවත්, නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇත්තේ දිස්ත්‍රික් නාගරික සංවර්ධන අධිකාරියේ නිර්දේශ වලට අනුව බවත්, ලිඛිතව දන්වා ඇත. ලිපියේ පිටපත මේ සමඟ අමුණා ඇත.

      නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව සඳහා ඝෝගාතකාගාරය ඉදිකිරීම සඳහා රු.600,000.00 ක මුදලක් සභාව පුද්ගලයන් 04 දෙනෙකුට ගෙවා ඇති බව දන්වමින් හා එය මේ වන තෙක් අය කර ගෙන නොමැති බව දක්වා ඇත. මෙය මාගේ සභාපති ධූරය දරණ කාලයේ සිදු වුවක් නොවන අතර, තේනුවර නම් සභාපතිවරයෙකුගේ පාලන කාලයේ සිදු වූ කටයුත්තක් වුවද මේ වන විට මවිසින් නඩු අංක 61155/61156/61157/61158 දරණ නඩු අංක යටතේ 2021.01.15 දින අදාළ පුද්ගලයන්ට එරෙහිව මාරවිල අධිකරණයේ නඩු පවරා ඇත.
       මීළඟ නඩු දිනය 2022.05.18 ලෙස ද වැඩිදුරටත් දන්වමි.
      වරලත් ගණකාධිකරණ ආයතනය විසින් ඉදිරිපත් කරන වාර්ෂික වාර්තා හා ගිණුම්ප්‍රකාශ තරඟාවලියේ දී 2017 වසරේ දිවයිනේ 02 වන ස්ථානයත්, 2018 වසරේදි දිවයිනේ 01 වන ස්ථානයත්, 2019 වසරේදී සම්මාන සහතික පත්‍රයක් ලබා ගැනිමට නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව සමත් වී ඇත. 2019 හා 2020 වර්ෂවලදී ද විගණන මතය අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ හොඳම සභාවක් ලෙස විගණනය විසින් දක්වා ඇත.

      සභාපති,
      නීතීඥ ඩබ්.එස්.රොෂාන් නිලන්ත ප්‍රනාන්දු,
      නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව.

    ඔබේ අදහස් දක්වන්න.