fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්මහා දවල් මින්නේරියේ ඒ.ටී.එම් යන්ත්‍රය කඩා මුදල් සොරාගත් කල්ලිය කොටු

    මහා දවල් මින්නේරියේ ඒ.ටී.එම් යන්ත්‍රය කඩා මුදල් සොරාගත් කල්ලිය කොටු

    මින්නේරිය යුද හමුදා කදවුර ආසන්නයේ පිහිටි රථ ගාල අසල ඇති රාජ්‍ය බැංකුවකට අයත් ඒ.ටී.එම්. යන්ත්‍රය අලුත් වැඩියා කිරීමේ මුවාවෙන් හමුදා සෙබලුන්ද බලා සිටියදී මහා දවාලයේ කඩා රුපියල් ලක්ෂ 76 කට අධික මුදලක් සොරාගෙන පළාගිය සැකකරුවන් 03 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත්වී ඇත.

    අනුරාධපුර පල්ලම ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත්තේ ඊයේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සදහන් කළේය.

    ඉකුත් 26 වෙනිදා මෙම සොරකම සිදුව තිබේ. කුඩා ලොරි රථයකින් පැමිණි තිදෙනෙකුගෛන් යුත් කණ්ඩායමක් විසින් මෙම සොරකම සිදුකරන්නේ ජෙනරේටරයක්ද රැගෙන විත් විදුලියෙන් ක්‍රියාත්මක කරන කැපුම් උපකරණ වලින් ඒ.ටී.එම්. යන්ත්‍රය කපාය. එහිදී ඔවුන් ඒ.ටී.එම්. යන්ත්‍රයේ සවිකර තිබුණු ආරක්ෂක කැමරා පද්ධතියේ ඩී.වී.ආර්. යන්ත්‍රය පවා ගලවාගෙන ගොස් ඇතැයි ද පොලීසිය සදහන් කළේය.

    එම ඩී.වී.ආර්. යන්ත්‍රයත් මින්නේරියේ සොරකමට පෙර අනුරාධපුර රෝහල ඉදිරිපිට පිහිටි ඒ.ටී.එම් යන්ත්‍රයක් කැඩීමට ගත් උත්සහයක දී එම යන්ත්‍රයේ සවිකර තිබුණු ආරක්ෂක කැමරා පද්ධතියෙන් ගැලවූ ඩී.වී.ආර්. යන්ත්‍රයත් පොලීසිය සොයාගෙන ඇත. ඊට අමතරව මෙම සොරකමට ඔවුන් ගමන් ගත් කුඩා ලොරි රථයත්, ජෙනරේටරයත්, කැපුම් උපකරණත් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

    ඊට අමතරව මින්නේරිය ඒ.ටී.එම්. යන්ත්‍රය බිද සොරාගත් රුපියල් හැත්තෑහය ලක්ෂ විසිහතර දහසක මුදලින් රුපියල් විසිනව ලක්ෂ අසූ දහසක මුදලක්ද, සොරාගත් මුදලින් විසිහතර ලක්ෂ අනූ දහසක් වැයකර මිලදී ගත් කුඩා ලොරි රථයක්ද, නවලක්ෂ පනස් දහසකට මිලදීගත් යතුරු පැදියක්ද , එක්ලක්ෂ හැත්තෑ දහසක් වැයකර මිලදී ගත් ගෘහ උපකරණ ද සොයාගෙන ඇතැයිද නිහාල් තල්දූව මහතා පැවැසීය.

    මෙහි ප්‍රධාන සැකකරු 30 හැවරදි වියේ පසුවන එප්පාවල පදිංචි කරුවෙකි. ව්‍යාපාරිකයෙක් වන ඔහු ඒ.ටී.එම්. යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේ ආයතනයකට සම්බන්ධව සේවය කළ අයෙක් බව ද විමර්ශන වලින් අනාවරණය වී ඇතැයි අනුරාධපුර සහ පොළොන්නරුව දිසාභාර නියෝජ්‍ය පොලිස්පති ලක්ෂිරි විජේසේන මහතා සදහන් කළේය.

    මෙම සැකකරු මෙම සොරකම සැළසුම්කර ඇත්තේ ඒ.ටී.එම්. යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේ කටයුතු වලදී ඒ ගැන සැකයක් ඇති නොවන බැවින් යැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේය.

    මෙම සොරකමට සම්බන්ධ තවත් කිහිප දෙනෙක් සම්බන්ධයෛන් විමර්ශන සිදුවන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවැසීය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.