fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්"පල්ලිවලට ගහනවා කියා මට කිව්වේ තාත්තා නෙමෙයි" - හරීන් දැන් කියන දේ

    “පල්ලිවලට ගහනවා කියා මට කිව්වේ තාත්තා නෙමෙයි” – හරීන් දැන් කියන දේ

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කරනු ලැබුවේ පාස්කු ප්‍රහාරයෙන් පසු ඔහු පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළ ප්‍රකාශක් සම්බන්ධයෙනි.

    පාස්කු ප්‍රහාරයේ උණුසුමත් සමග එවකට වගකිවයුතු ඇමතිවරයෙක්ව සිටි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එම මාධ්‍ය හමුවේදී සදහන් කරන්නේ පල්ලිවලට ගහන බව රෝහලේ ලෙඩ ඇදේ සිටි සිය පියාද දැනගෙන සිටි බවකි. පියාට ඒ ගැන කොහෙන් දැනගන්න ලැබුණාදැයි තමා නොදන්නා බවත් පල්ලිවලට ගහන බැවින් පසුදින පල්ලි නොයන ලෙස පියා තමාට පැවැසූ බවත් හරීන් ප්‍රනාන්දු මහතා එම මාධ්‍ය හමුවේදී පැවැසුවේය. සිය පියාගේ ඒ උපදෙසට අනුව ඔහු පහුවෙනිදා පල්ලි නොයන අතර බෝම්බ පුපුරන්නේද එදිනමය.

    එවකට රටේ ප්‍රධානියාව සිටි මෛත්‍රීපාල ජනාධිපතිවරයාද පාස්කු ප්‍රහාරය ගැන ආරක්ෂක අංශ තමාව දැනුවත් කලේ නැතැයි කියද්දී ලෙඩ ඇදේ සිටි හරීන් ප්‍රනාන්දු මහතාගේ පියා ඒ ගැන දන්නේ කෙසේදැයි මෙන්ම හරීන් පියාගේ වචනය අසා පල්ලි නොගොස් නිහඩව සිටීම ගැන සමාජයේ දැඩි කථාබහක් ඇතිවන්නට ගත්තේය.

    ඒ නිසාම ඔහුට පාස්කු කතෝලික ජනතාව ප්‍රමුුඛ රටේ බොහෝ පිරිසකගෙන් දැඩි විරෝධතා එල්ලවන්නටද ගත්තේය. ඒ සිය පියාගෙන් ලද එම තොරතුර ගැන යම් සොයා බැලීමක් කර රටේ ජනතාව ඒ ගැන දැනුවත් කර ජීවිත බේරා ගැනීමට කිසිවක් නොකිරීම ගැනය. ඒ ගැන සමාජයේ ඔහුට ඇති විරෝධය අදටත් එසේමය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව අද කැදවන්නේ එවන් පසුබිමක් පැවතියදීය. ඊට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඔහුව කැදවූ අවස්ථාවේදී අධිකරණයට පවා ඔහු ගියේ අත්අඩංගුවට ගැනීමක් සිදුවනු ඇතැයි විශ්වාසකරමින් එය වලක්වා ගන්නටය. තවත් අවස්ථාවකදී ඔහු අසනීප තත්වයකයටද මුහුණ දුන්නේය.

    හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අද අපරාධ පරීීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට යන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සජබ මන්ත්‍රීවරු පිරිසක් පෙරටුකරගෙනය. ඒ පෙරවරු 10.30 ට පමණය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීශ්‍රයට ඇතුළුවීමට අවසරය තිබුණේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට පමණි. ඒ අනුව හරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටි නව මහලේකම් කාර්යාල ගොඩනැගිල්ලට ඇතුළු වන්නේ තනිවමය.

    එහිදී ඔහුව සුහද ශීලීව පිළිගන්නා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉහළ මහලේ කාමරයකට රැගෙන ගොස් ප්‍රශ්ණ කිරීම් ආරම්භකරන්නේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ අධික්ෂණයෙන් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරියෙක් විසිනි. හරීන් මන්ත්‍රීවරයාත් සිනාමුසු මුහුණින් ප්‍රශ්න කිරීමට ආරම්භක අවස්ථාවේදී මුහුණ දෙන්නට විය. එහෙත් තාත්තා කී කථාව ගැන අසන විට ඔහුගේ මුහුණේ සිනහව තිබුණේදැයි ඇත්තේ ගැටළුවකි. ඒ එදා රටේම මාධ්‍ය ඉදිරියේ ලෙඩ ඇදේ සිටි පියා විසින් කීවා යැයි කී ඒ කථාව තමාට කීවේ පියා නොව, සහෝදරිය විසින් බව ඔහු කියන්නට ගත්තේය.

    එසේ නම් මාධ්‍ය හමුවක් පවත්වමින් එදා හරීන් ප්‍රනාන්දු මහතා රටටම කීයා ඇත්තේ ලොකු බොරුවකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පමණක් නොව, පාස්කු කොමිසම හමුවේද මේ කථාව මේ විදිහටම ඔහු කීවේය. ඒ දේශපාලනඥයෙකුගේ වචන කොතරම් දුරකට විශ්වාස කරන්නට හැකියාවක් තිබේදැයි පැනයක් සමාජය තුළ ඉතිරි කරමිනි.

    හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැන් පවසන්නේ සිය පියා රෝහල්ගතව සිටින කාලය තුළ පියා සමග තමා සිටියේ යම් අමනාපයකින් බවකි. ඒ නිසා පියා රෝහලේ සිටියත් ඔහුගේ දුක සැප බලන්නට ගියේ නැති බවද ඔහු කියයි. ඒ දේවල් කියන කොට ඒවා ඇත්තද නැත්තද කියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිටියේ ඒ වන විටත් තහවුරුකරගෙනය. විද්‍යාත්මක සාක්ෂි පදනම් කරගනිමිනි. හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පවසන්නේ සිය පියාගේ දුක සැප විමසන්නට උදේ හවා රෝහට ගියේ සිය සහෝදරිය බවය. පියා ඒ කථාව කියා ඇත්තේ සහෝදරියටය. සිය පියා පෙර දිනයේ පල්ලිවලට පහරදෙන බවක් තමාට පැවැසූ බව සහෝදරිය තමාට කීවේ පාස්කු ප්‍රහාරය එල්ලවීමෙන් අනතුරුව බව ද හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සදහන් කරයි. ඒ කියන වේලාවට හරීන්ගේ දුරකතනයට සහෝදරියගෙන් ලද ඇමතුමක්ද ලැබී ඇති බව දුරකතන ජාල විශ්ලේෂණයේදී තහවුරු වී ද ඇත.

    අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ ගැන හරීන් ප්‍රනාන්දු මහතාගේ සහෝදරියගෙන්ද ප්‍රශ්න කරන්නට අමතක කර නැත. ඇයද කියන්නේ එකම කථාවකි. ඒ අනුව හරීන් මුලින් කී කථාව දැන් බොරුවකි. එවන් බොරුවක් කියන්නට මුල් වූයේ ඇයිදැයි පැහැදිලි පිළිතුරක් හරීන්ගේ මුවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී නැත. ඇත්ත නැත්ත හරියටම දැන ගන්නටත් පාස්කු ඉරිදා දේවස්ථානවලට ප්‍රහාරයක් එල්ලවන බව දැන ගත්තේ කොහොමද කියලවත් අසා දැනගන්නට හරීන්ගේ පියා දැන් ජීවතුන් අතර නැත. ඒ නිසා හරීන් සිටින්නේ දැන් බෙල්ලටම හිරවීය. ඒ නැති කථාවක් මවන්නට ගොසිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් දැන් ගැටුළුවක් වී ඇත්තේ ඉදිරියට මේ විමර්ශනය කරගෙන යන්නේ කෙසේ දැයි කියායා. ඒ මාධ්‍ය හමුවේ හරීන් කළ මේ ප්‍රකාශය අපරාධමය වරදකට ගැනෙන්නේ දැයි කියාය. ඊට පිළිතුරු ඇත්තේ නීතිපති අතේය. එතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුවන්නේ හරීන්ගේ විමර්ශන ගොනුව නීතිපති අතට පත්කර පිළිතුරු එනතුරු බලා සිටින්නටය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.