ලබන සඳුදා (09) සහ අඟහරුවාදා (10) යන දිනයන්හිදී ද මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල්වලට නිවාඩු ලබාදී තිබේ.
ඒ පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ මතුව ඇති ආපදා තත්ත්වය සැළකිල්ලට ගෙන ය.
මාතර දිස්ත්‍රික්කය ආශ්‍රිත ගංවතුර තත්ත්වය ඉහළ යමින් පවතින නිසා මෙම තීරණය ගත් බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එමෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල හදිසි සහන සේවා කටයුතු සඳහා මේ වනවිටත් යුද හමුදා සෙබළුන් 600ක් යෙදවීමටත් යුද හමුදාව පියවර ගෙන ඇත.
මේ අතර මාතර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ කමිටුවේ හමුව අද උදෑසන මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.
එහිදී ඉදිරි අවදානම් තත්වය පිළිබඳව සහ ගෙන ඇති පියවර සම්බන්ධයෙන් තොරතුරු දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිළධාරීන් සහ දිස්ත්‍රික් ලේකම් විසින් දැනුවත් කරනු ලැබුණි.
දිස්ත්‍රික්කයේ වාරිමාර්ග පොම්පාගාර අඛණ්ඩව ක්‍රියාත්මක වන බව සහ නාදුගල වේල්ලේ ගල්බැම්ම නිරන්තරයෙන් හමුදාවන්වල අධීක්ෂණය යටතේ ආරක්ෂාව තහවුරු කර ඇති බව සහ ජලය කාන්දුවීම් හෝ එවැනි අවදානම් වාර්තා නොවන බව දැනුවත් කර ඇත.
පසුගිය කමිටු හමුවේ කල ඉල්ලීමට අනුව මේ වන විට නාවික හමුදාව, යුධ හමුදාව, පොලිසිය සහ ආපදා කාර්යාංශය මගින් කුඩා යාත්‍රා 20ක් පමණ සහ අවශ්‍ය බෆල් රථ යොදවා ඇත.
එයට අමතරව ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ මැදිහත්වීමෙන් කුඩා ඔරු 60ක් පමණ යොදවා ඇති අතර අවශ්‍යවුවහොත් භාවිතයට තවත් කුඩා ධීවර යාත්‍රා 20ක් ධීවර දෙපාර්තමේන්තුව සුදානම් කර ඇති බව දන්වා ඇත.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතන එක්ව අවතැන් වී ඇති, කොටු වී ඇති සහ අවදානමට ලක්ව ඇති පිරිස් වෙනුවෙන් පිසූ ආහාර සහ වියළි ආහාර ලබා දීම සහ ප්‍රවාහනය ආරම්භ කර ඇත.
තවදුරටත් ගංවතුර අවදානම පවතින බැවින් ඉදිරි සඳුදා සහ අඟහරුවාදා දින දෙකද මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා දැමීමට මෙහිදී තීරණය කර ඇත.
ජලය බැස යාමට අවශ්‍ය කටයුතු වාරිමාර්ග, මහා මාර්ග සහ පළාත් පාලන ආයතන විසින් සිදු කරනු ලැබේ.


















(ඡායාරූප සමාජ ජාල ඇසුරිනි. අයිතිය මුල් හිමිකරුවන් සතුය)