තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ඩිජිටල්කරණයට අකමැති නිලධාරීන් ඉවත් වෙන්න" -ජනපති

    “ඩිජිටල්කරණයට අකමැති නිලධාරීන් ඉවත් වෙන්න” -ජනපති

    රාජ්‍ය ආදායම්, බදු ආදායම් යනාදි රජයේ කටයුතු ඩිජිටල්කරණය කිරීමට අකමැති නිලධාරීන් එම අංශවලින් ඉවත් විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    “මෙම කටයුතුවලදි (රාජ්‍ය ආදායම්, බදු එකතුකිරීම්) ඩිජිටල්කරණය ඉතා වැදගත් වෙනවා. යම් අයෙකු ඊට අකමැති නම් ඔවුන් එම අංශවලින් ඉවත් විය යුතුයි. මොකද ඩිජිටල්කරණයට කාලසීමාවක් ලබාදෙමින් ඒ අනුව ක්‍රියාත්මක විමට මම අපේක්ෂා කරනවා. එහි අඩුපාඩු සිදුවුවහොත් ඊට අදාළ පියවර ගැනිමට සිදු වෙනවා.”

    රාජ්‍ය ආදායම් අමතක කිරීම පමණක් නොව කිසිදු ප්‍රතිලාභයක් නොමැති කටයුතු සඳහා රාජ්‍ය මුදල් සීමාවකින් තොරව වැය කිරීම ද මෙරට ආර්ථික අර්බුදයට හේතු වූ බව ජනාධිපතිවරයා කියා සිටියේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ රාජ්‍ය නව ආදායම් මාර්ග උත්පාදනය සඳහා උපාය මාර්ග සෙවීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී භාරදුන් අවස්ථාවේ දීය.

    වාර්තාව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනවල ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා විධිමත් පරිසරයක් නිර්මාණය කිරීම, රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීම සඳහා නව ක්‍රමවේද හඳුන්වා දීම සහ ඒ සඳහා ඩිජිටල් ආර්ථික පසුබිමක් සකස් කිරීමට අදාළ යෝජනා මෙම වාර්තාවට ඇතුළත්ය.

    මෙම යෝජනා තවදුරටත් සාකච්ඡාවට බඳුන්කර ක්‍රම සහ විදි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය අමාත්‍යවරයා වෙත උපදෙස් දුන්නේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

    “අද තිබෙන ආර්ථික අර්බුදයේ දී අපට තිබෙන ප්‍රධාන චෝදනාවක් තමයි බදු ආදායම නිසියාකාරයට එකතු කර නොගැනීම. ආදායම් බදු ගෙවිය යුතු ඇතැම් පාර්ශ්ව ආදායම් බදු ගෙවන්නේ නැහැ. ඒ වගේම රේගුවේ සිදුවන ප්‍රමාදයන් නිසා සම්පුර්ණ බදු ආදායම රජයට නොලැබීම පිළිබඳ වාර්තා වී තිබෙනවා. ඒ වගේම සුරාබදු පිළිබඳවත් එම චෝදනාව තිබෙනවා.
    ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අප උත්සාහ කරන මෙම අවස්ථාවේ රට තුළ පූර්ණ මුල්‍ය විනයක් ඇති කළ යුතුව තිබෙනවා. එහි පළමු කාරණය තමයි රජයේ වියදම් පාලනය කිරීම. ඒ පිළිබඳ දැනට වැඩකටයුතු කරගෙන යනවා. දෙවනුව රජය වියදම් කරන සෑම රුපියලකටම උපරිම වටිනාකමක් ලබා ගතයුතුයි. බොහෝ දුරට එය රාජ්‍ය වියදම් තුළ සිදු වන්නේ නැහැ. ඒ නිසා මේ පිළිබඳ පාර්ලිමේන්තුව තුළත් අවධානය යොමු විය යුතුයි. තෙවනුව රාජ්‍ය ආදායම් අප ඉහළ නංවාගත යුතුයි. රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ මූලිකත්වයෙන් මෙම කමිටුව පත්කර, වගකීම භාර දුන්නේ ඒ සඳහායි. අද මෙම වාර්තාව සකස් කර භාරදුන් හා ඊට සම්බන්ධ වූ සියලුදෙනාට මම ස්තූතිවන්ත වෙනවා.

    අපි ආදායම් බදු ඉහළ නංවා ගත හැකි නව ක්‍රමවේද සොයා බැලිය යුතුයි. ඒ පිළිබඳ මෙම වාර්තාවේ කරුණු රැසක් යෝජනා කර තිබෙනවා. විශේෂයෙන්ම අප පාර්ලිමේන්තුව තුළත් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. මේ රටේ ආර්ථික අර්බුදය ඇතිවිමට ප්‍රධාන හේතුවක් වූයේ පසුගිය වසර දෙක තුන තුළ පාර්ලිමේන්තුව තුළ මේ පිළිබඳ සාකච්ඡා නොකිරීම වගේම ඇතැම් අවස්ථාවල පාර්ලිමේන්තුව තුළත් මේ පිළිබඳ උනන්දුවක් නොදැක්වීම කියලා කියන්න පුළුවන්. එහෙත් දැන් අප ආදායම් බදු සහ රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ සොයන්න කමිටු ගණනාවක් පත් කර තිබෙනවා. එම කටයුතුවලදී අප මෙම අලුත් ක්‍රමවේද සොයා බැලිය යුතුයි.

    විශේෂයෙන්ම අප මෙම ආදායම් උත්පාදන ක්‍රමවේදය ලබාගත්තේ එක්සත් රාජධානියෙන්. අද එම ක්‍රමවේද බොහෝ දුරට දියුණු කර තිබෙනවා. ඒ නිසා අලුත්ම ක්‍රමවේදය දෙස බලා අපට අවශ්‍ය ක්‍රමවේදය සකස් කළයුතුයි. විගණන පනත තුළත් ඒ සඳහා නව නීති සංශෝධන ඉදිරිපත් කර තිබෙනවා.

    මේ පිළිබඳ කැමරන් අග්‍රාමාත්‍යවරයා යටතේ කටයුතු කළ අමාත්‍යවරයා තමයි ෆ්‍රැන්සිස් මෝඩ් මහතා. මෙම අංශයේ ප්‍රතිසංස්කණය පිළිබඳ අදහස් ලබා ගැනීමට අපි එතුමාටත් ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කර තිබෙනවා.

    බ්‍රිතාන්‍යයන් මේ රටට පැමිණිමෙන් පසු වැඩි අවධානයක් යොමු කළේ ආදායම් එකතු කිරීම පිළිබඳවයි. ඒ සඳහා ආදායම් නිලධාරින‍් සිටියා. මුළු පළාතම එක ඒජන්තවරයෙකු යටතේ පාලනය වන විට ආදායම් නිලධාරින් සහ දේශීය නිලධාරීන් වූ මුදලිවරුන්, රටේ මහත්වරුන් ආදායම් එකතු කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළා. ඒ නිසා කිසිදු අවස්ථාවක ආදායම් අඩු වුණේ නැහැ. තේ, පොල්, රබර් කර්මාන්ත දියුණුවීමත් සමඟ ආදායම් ඉහළ ගියා. නමුත් 70 දශකයේ සිට ආදායම් අමතක කර කටයුතු කළා. රටේ පරිපාලන අංශයෙන් ආදායම් උත්පාදනය ඉවත් කර තිබෙනවා. ආදායම් අමතක කළා පමණක් නොව, රාජ්‍ය මුදල් සීමාවකින් තොරව වියදම් කර තිබෙනවා.” යැයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියාසිටියේ ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    Leave a Reply to FerdiCancel reply

    spot_img
    spot_img