ඉතාලි තානාපති කාර්යාලයෙන් සේවය ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින්ගෙන් විශාල ලෙස මුදල් ලබාගැනීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පොලීසිය නිසි ක්‍රියා මාර්ග නොගැනීම හේතුවෙන් තානාපතිනිය දැඩි කලකිරීමකට ලක්ව සිටින බව සහ තානාපති කාර්යාලය මෙරටින් ඉවත්කර ගැනීමේ අවධානමක් ඇති බව newswave.lk කළ හෙළිදරව්ව කෙරෙහි තානාපති ආරක්ෂක අංශයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් පොලිස් බුද්ධි අංශයක් වන විශේෂ කාර්යාංශයේත් අවධානය යොමු වී තිබේ.
එම හෙළිදරව්ව newswave.lk කරනුයේ ඉකුත් 01 වෙනිදාය.
තානාපති ආරක්ෂක පොලිස් කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් වැලැක්වීමේ අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා යන මහත්වරු ඒ ගැන ඉතාලි තානාපතිනිය සමඟ දීර්ඝ ලෙස සාකච්ඡාවකද නිරත වී ඇත.
එම සාකච්ඡාවේදී ඇය පෙන්වා දී ඇත්තේ මේ ගැන තමා රජයේ ඉහළම තැන්වලට දැනුම් දුන්නද ඊට යහපත් ප්‍රතිකාරයක් මෙතෙක් නොලැබුණු බවකි. ඇය එහිදී මෙම පොලිස් ප්‍රධානීන් දෙදෙනා හමුවේ දීර්ඝ ලෙස පැහැදිලි කිරීමක්ද කරමින් මේ වන විට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිිරීම්ද ඉහළ ගොස් ඇති බව පෙන්වා ගොස් ඇත.
“ඉස්සරනම් අපිට ඉදිරිපත්වන වීසා අයදුම්පත් අතර ව්‍යාජ ලේඛන සම්බන්ධ සිදුවීම් ඇත්තේ සියයට 05ත් 10ක් පමණ ප්‍රමාාණයක්. ඒත් දැන් සියයට 80ක් විතරම අයදුම්පත් අතර තියෙන්නේ ව්‍යාජ ලේඛන“ යැයිද තානාපතිනිය පෙන්වා දී තිබේ. එවන් ලේඛන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙසත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට හැකියාව ඇති බවත් එහිදී මිනිස් ජාවාරම් වැලැක්වීමේ පොලිස් අංශයේ ප්‍රධානියා පෙන්වා දී තිබෙන බව ආරංචි මාර්ග අනාවරණය කළේය.
තානාපතිනිය මෙම නිලධාරීන්ට පෙන්වා දී ඇත්තේ යම් පිරිසක් සංවිධානාත්මකව රාත්‍රී කාලයට තානාපති කාර්යාලය ඉදිරිපිට රැදී සිටිමින් උදෑසන කාලයේ තානාපති කාර්යාලයේ සේවය ලබාගැනීමට පැමිණෙන පිරිස් වෙත පෝලිමේ මුල් ස්ථාන රුපියල් 15,000 සිට ඉහළ මිල ගණන් වලට අලෙවි කරන බවය.
මේ තත්ත්වය දිගින් දිගටම තවදුරටත් පවතින්නේ නම් මුලින්ම වීසා අංශය ඉන්දියාවට රැගෙන යාමට සිදුවන බව ද තානාපතිනිය එම නිලධාරීන් හමුවේ පවසා ඇති බවද සඳහන්ය.
එහිදී එවන් තීරණයක් නොගන්නා ලෙස පවසා ඇති එම නිලධාරීන් වහාම එම ජාවාරම් මැඩලීමට පියවර ගන්නා බව තානාපතිනියට දැනුම් දී තිබෙන බවද එම තොරතුරු අනාවරණය කළේය.
මෙම හමුවෙන් පසු මේ ගැන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු දෙදෙනා සිය ප්‍රධානීන්ව දැනුවත්කර ඇත. ඒ අනුව අද සවස්වන විට පොලිස් බුද්ධි අංශයක් වන විශේෂ කාර්යාංශයට ඉහළින් උපදෙස් ලැබී ඇත්තේ ඉතාලි තානාපති කාර්යාලය අසල සිදුකෙරන මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ගේ තොරතුරු රැස්කර වහාම දැනුම් දෙන ලෙසය. ඒ අතර කොල්ලුපිටිය පොලීසියටද උපදෙස් ලැබී ඇත්තේ තානාපති කාර්යාලය අවට ආරක්ෂාව කෙරෙහි විශේෂ සැළකිල්ලක් දක්වන ලෙසය.
සබැඳි පුවත්
පිට පිට සිදුවන ජාවාරම් නිසා ඉතාලි තානාපති කාර්යාලය මෙරටින් ඉවත්වීමේ අවදානමක්