කොවිඩි නොවන හේතූන් මත මියයන අයගේ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදුකිරීමට අනුමැතිය දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(18) බලධාරීන්ට උපදෙස් දී තිබේ.
කොවිඩ් නොවන මරණ පී.සී.ආර් පරීක්ෂණයට ලක්කිරීමෙන්, අවසන් කටයුතු කිරීමට සිදුවන ප්‍රමාදය පිළිබඳව බොහෝ දෙනාගෙන් චෝදනා එල්ල වී තිබේ. එමගින් මියගිය අයගේ පවුල්වල අය මුහුණ දෙන ආර්ථික සහ දැඩි අපහසුතා සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා මෙම උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
ජුනි මස 14වන දින සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබුණ ද, ජුනි 11 වන දින මරණ 101ක් වාර්තා වූ බවට ලැබුණු දත්ත පදනම් කරගනිමින් ජුනි 21 වනදා තෙක් සංචරණ සීමා දීර්ඝ කිරීමට පියවර ගැනිණ.
පසුව මෙම මරණ සිදුව ඇති ආකාරය පිළිබඳව සෞඛ්‍ය සහ බුද්ධි අංශ මගින් නැවත පුළුල් විමර්ෂණයක් කර ලබාගත් දත්ත පිළිබඳව ජනාධිපතිවරයා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කර තිබේ.
එහිදී ඇතැම් මරණ පෙබරවාරි 06 සිට ජුනි 11 දක්වා මාස 04ක කාලසීමාව තුළ සිදුව, මරණ සහතික ද නිකුත් කළ තිබූ බවට ද අනාවරණය වී ඇත.
ඇතැම් මරණ පිළිබඳව තොරතුරු දෙවතාවක් සඳහන් වි ඇති බව සොයා ගෙන තිබේ.
ජුනි 11 වන දින සිදුව ඇති මරණ සංඛ්‍යාව 101ක් නොව 15ක් පමණක් බව සිදුකළ පුළුල් විමර්ෂණයෙන් පසු අනාවරණය කරගත් බව ජනාධිපතිවරයා එම හමුවේදී පැවසූයේ යැයි ද එම නිවේදනයේ සදහන් ය.
දත්ත සැපයිමේදී නිවැරදි වීම සහ කාලීන වීම, නිවැරදි තීරණ ගැනීමට අත්‍යාවශ්‍ය බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණි ලොකුගේ, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්ම මහත්මීහු, ත්‍රිවිධ හමුදාපතිවරු සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.