කටුවන ප්‍රාදේශීය සභාවට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්ව සිටින වෙළඳ ව්‍යාපාරිකයෙකුට ඊයේ රාත්‍රී කාලයේදී වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ දරා ඇතැයි මිද්දෙණිය පොලීසිය සඳහන් කරයි.
ජුලම්පිටිය හඳපාන්ගල අයින, පදිංචිකරුවෙක් වන කේ.කේ.ප්‍රභාත් ඉන්දික (42)ට මෙසේ වෙඩි තබා ඇතැයි පොලීසිය කියයි.
මෙම ව්‍යාපාරිකයා ඔහුට අයත් සිල්ලර වෙළඳ සැළ වසා දමා රාත්‍රී කාලයේදී සිය බිරිඳ සමඟ යතුරු පැදියක නැගී ජුලම්පිටිය ගල්පොත්තයාය මාර්ගයේ සිය නිවස වෙත ගමන්කරමින් සිටියදී 06 කණුව ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයට ලත්ව ඇත.
මාර්ගය හරහා දිරාගිය ගසක අත්තක් දමා තිබි ඇති බවත් එම ස්ථානයේදී යතුරුපැදියේ වේගය අඩුකරන විට වෙඩි තබා ඇති බවත් පොලීසිය කියයි.
මෙහිදී වෙඩි වැදුනු ප්‍රභාත් ඉන්දික යතුරුපැදිය සමඟ බිම වැටී ඇතත් ඔහු ඒක්ෂණිකව නැගිට වෙඩික්කරු සමඟ පොර බදා ඇති බව පොලීසිය කියයි. එහිදී වෙඩික්කරු ගිනි අවියද අතහැර දමා පළාගොස් තිබේ.
යතුරුපැදිය බිම වැටීමෙන් බිරිඳ ද තුවාල ලබා ඇති බවත් ඔවුන් දෙදෙනාම ප්‍රතිකාර ගැනීමට මිද්දෙණිය රෝහලට ඇතුලත්කර ඇත.
වෙඩි තබා ඇත්තේ ගල්කටස් වර්ගයේ ගිනි අවියකිනි.
කාලයක් තිස්සේ පවතින ආරවුලක් මුල්කරගෙන මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලීසිය සැකකරයි. මෙයට පෙරද ප්‍රභාත් ඉන්දිකට පහරදීමක් සිදුව ඇති බවත් ඔහුගේ නිවසටද හානිකර ඇති බවත් පොලීසිය කියයි. ඒ සම්බන්ධයෙන් සැකකරුවන් පවා අත්අඩංගුවටගත් බව පොලීසිය කියයි.