Home special ඉරාන ජනපති මුහුණ පෑ ගුවන් අනතුරේ පළමු වාර්තාව එයි

ඉරාන ජනපති මුහුණ පෑ ගුවන් අනතුරේ පළමු වාර්තාව එයි

ඉරාන ජනපති මුහුණ පෑ ගුවන් අනතුරේ පළමු වාර්තාව එයි

 
ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි මහතා ඇතුළු පිරිසගේ මරණ සඳහා හේතු වූ හෙලිකොප්ටර් යානා අනතුර පිළිබඳ පළමු විමර්ශන වාර්තාව නිකුත් කෙරේ. එරට සන්නද්ධ හමුදා ප්‍රධාන කාර්ය මණ්ඩලය විසින්, එය ඊයේ (23 ) නිකුත් කරනු ලැබීය.
 
යානය අනතුරට ලක්වීමෙන් පසු විශේෂඥයන් සහ කාර්මික ශිල්පීන්ගෙන් සමන්විත  විමර්ශන කමිටුවක් 20 වැනිදා උදෑසන එම ස්ථානයට පැමිණි බව එම වාර්තාවේ දැක්වේ. 
හෙලිකොප්ටරය අදාළ ගුවන් මාර්ගයේ කලින් තීරණය කළ ආකාරයෙන් රැඳී සිට ඇති අතර ඉන් ඉවතට නොගොස් ඇති බව ද එහි සඳහන් ය. සිද්ධියට මිනිත්තු එකහමාරකට පමණ පෙර අනතුරට පත් හෙලිකොප්ටරයේ නියමුවා ජනාධිපතිවරයාගේ රථ පෙළට ඇතුළත් වූ සෙසු හෙලිකොප්ටර් යානා දෙක අමතා ඇතැයි ද එම වාර්තාව කියයි.
 
අනතුරට පත් හෙලිකොප්ටරයේ සුන්බුන් අතර වෙඩි උණ්ඩ හෝ ඒ හා සමාන භාණ්ඩ පිළිබඳ කිසිවක් වූ බවට කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත. කන්දට කඩා වැටීමෙන් පසු හෙලිකොප්ටරය ගිනිගෙන තිබේ.
 
ප්‍රදේශයේ පැවති කාලගුණික තත්ත්ව, මීදුම සහ අඩු උෂ්ණත්වය හේතුවෙන් සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් දහවල් කාලය සහ රාත්‍රිය පුරා අඛණ්ඩව පැවති බව ද වාර්තාවේ සඳහන් ය. ප්‍රාදේශීය වේලාවෙන් 20 වැනිදා අලුයම 5 ට අනතුර සිදු ව ඇති බවත්, අදාළ ස්ථානයත් ඩ්‍රෝන යානාවල සහායෙන් නිවැරදිව හඳුනාගෙන තිබේ. පාලක මැදිරිය සහ යානා කාර්ය මණ්ඩලය අතර ඇති වූ සංවාදවල සැක සහිත කිසිදු කරුණක් අනාවරණය වී නොමැති බව ද සන්නද්ධ හමුදා ප්‍රධාන කාර්ය මණ්ඩල වාර්තාවේ දැක්වේ.
 
ඉරාන ජනාධිපතිවරයා සහ පිරිස රැගත් හෙලිකොප්ටර් යානය ඉකුත් 19 වැනිදා කඳුකර ප්‍රදේශයක දී අනතුරට ලක්වූයේ නැගෙනහිර අසර්බයිජාන පළාත බලා යමින් සිටිය දී ය. විදේශ අමාත්‍ය හුසේන් අමීර් අබ්දුල්ලාහියන් සහ ඉරානයේ උත්තරීතර නායකයාගේ නැගෙනහිර අසර්බයිජාන නියෝජිත මොහොමඩ් අලි හෂීම් යන මහත්වරු ද ඒ අතර වූහ.
 
ඉබ්‍රාහිම් රයිසි ජනාධිපතිවරයාගේ දේහය ඔහු උපන් ප්‍රදේශය වන මෂාද් නගරයේ පිහිටි ඉමාම් රේසාගේ දේවස්ථානයේ  තැන්පත් කරනු ලැබීය.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here