Home උණුසුම් පුවත් මැතිසබේ උණුසුම් -විපක්ෂය ගෙනා විශ්වාසභංගය කඩාකප්පල් කරන්න විපක්ෂයේම වෑයමක්! (📹)

මැතිසබේ උණුසුම් -විපක්ෂය ගෙනා විශ්වාසභංගය කඩාකප්පල් කරන්න විපක්ෂයේම වෑයමක්! (📹)

මැතිසබේ උණුසුම් -විපක්ෂය ගෙනා විශ්වාසභංගය කඩාකප්පල් කරන්න විපක්ෂයේම වෑයමක්! (📹)

වව්නියාවේ පිහිටි සිවන්ගෝවිල් වඩික්කිනාරිමලෙයි හින්දු කෝවිලේ පුජාවක් පවත්වමින් සිටි පුද්ගලයින් 8 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ නඩුවක් ගොනුකිරීමට විරෝධය පළකරමින් පාර්ලිමේන්තු සභාගර්භයේ දී අද උණුසුම් තත්ත්වයක් මතුවිය.

අද (19) උදෑසන පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ පසුව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් පුවරු ප්‍රදර්ශනය කරමින් සභාගර්භය මධ්‍යයේ විරෝධතාවයක් පැවැත්වීය.

මේ හේතුවෙන් සභාගර්භයේ වැඩකටයුතුවලට මිනිත්තු කිහිපයක් බාධා එල්ල විය.

එහිදී අගමැතිවරයා විසින් විරෝධයට හේතුවන ඔවුන්ගේ ගැටලුට මැතිසබේට ඉදිරිපත් කිරීමට අවස්ථාව දීමට සූදානම් බවට පැවසීමෙන් පසුව නියෝජ්‍ය කථානායකවරයා එම ගැටලුව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දුනි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා පැවසුවේ අදාළ කෝවිල වන්දනාමාන කිරීමට ගිය 8 දෙනකු අත්අඩංගුවට ගෙන ‘බොරු නඩු දමා’ ඇති බවයි.

ඔවුන් නිදහස් කරන ලෙස කළ ඉල්ලීමේදී අධිකරණ ඇමතිවරයා පැවසුවේ අධිකරණය හමුවේ පවතින නඩුවකට අදාළව සැකකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් රජයට බලපෑම් නොකළ හැකි බවත් මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර දැන්වීමට කටයුතු කරන බවත්ය.

කෙසේවෙතත් තවදුරටත් ඒ පිළිබඳ බාධා එල්ල වීම නිසා අධිකරණ ඇමතිවරයා පැවසුවේ ‘අද දිනය වෙන්කරලා තියෙන්නේ විපක්ෂය විසින් ගෙනාපු විශ්වාසභංග යෝජනාවක්. මේක අද විපක්ෂයේ දවස. තමුන්නාන්සේලා ගෙනාපු විශ්වාසභංගය ඇයි තමුන්නාසේලා ඇයි කඩාකප්පල් කරන්නේ?. මේක ඉදිරිපත් කරලා තමුන්නාන්සේලාගේ ඒ අරමුණ ඉෂ්ට කරගන්න මේක ඉදිරියට කරගෙන යන්න ‍මේ විවාදය ඉදිරියට ගෙනියන්න.’ යනුවෙනි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (19) පැවැත්වේ.

ඔන්ලයින් පනත සම්මත කරගැනීමේදී ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් කටයුතු කිරීමට කථානායකවරයා පියවර ගත් බවට චෝදනා එල්ල කරමින් විශ්වාසභංගය ගෙන එන ලද්දේ සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය විසිනි.


ඒ අනුව අද පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා සහ හෙට (20) පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා විවාදය පැවැත්වෙනු ඇත.

විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම හෙට පස්වරු 4.30ට පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here