fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්කැනඩාවේ සයපුද්ගල ඝාතනයේ ලාංකික සැකකරු රිමාන්ඩ් එකේ සෙසු රැඳවූවන්ගෙන් වෙන්කරයි

    කැනඩාවේ සයපුද්ගල ඝාතනයේ ලාංකික සැකකරු රිමාන්ඩ් එකේ සෙසු රැඳවූවන්ගෙන් වෙන්කරයි

    කැනඩාවේ ඔටාවාහි බාර්හේවන් ප්‍රදේශයේ නිවසක් තුළදී එකම පවුලේ 5 දෙනකු ඇතුළුව සමූල ඝාතනයක් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ලාංකික තරුණයා දුරකතනය ඔස්සේ රක්ෂිත බන්ධනාගාරයේ සිට ඉතාම කෙටි වේලාවක් අධිකරණය හමුවට පමුණුවා තිබේ.

    ඔටාවා අධිකරණයකදී සිදුවූ මෙම නඩු විභාගයේදී ඔහු පෞද්ගලික පෙනී නොසිටි අතර අධිකරණය ඉදිරිපිටට මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් රැස්ව සිටි බව කැනඩා මාධ්‍ය වාර්තා කළේය.

    සැකකාර 19 වියැති ෆෙබ්‍රියෝ ද සොයිසාගේ හ‍ඬ අධිකරණයේ ඇසුණු බවත් ඔහු තම නම සහ උපන්දිනය සෙමෙන් මුමුණද්දී ශබ්ද නඟා සිය ප්‍රකාශය ඉදිරිපත් කරන ලෙසට විනිසුරුවරයා අවධාරණය කර ඇත.

    ඔහු මෙම නඩු කටයුත්ත සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් කරගෙනයාමට ලියාපදිංචි වී ඇති අතර ලබන 28 වැනිදා මීට අදාළ නඩුව යළි කැඳවීමට විනිසුරුවරයා නියෝග කළ බවත් මේ සඳහා ගතවූයේ විනාඩි 4ක පමණ කෙටි කාලයක් බවත් ඔටාවාහි මාධ්‍ය වාර්තා කර සිටී.

    සැකකරුට පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනා 6ක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් එල්ලවී තිබේ.

    කැනඩා අත්අඩංගුවේ පසුවන සැකකාර ලාංකික තරුණයා ෆෙබ්‍රියෝ ද සොයිසා

    සැකකරුගේ නීතීඥවරයා වන ඉවාන් ලිට්ල් පවසන්නේ ඔහු දැනට රක්ෂිත බන්ධනාගාරයේ ආරක්ෂිත අත්අඩංගුවේ පසුවන බවයි.

    සැකකරු සෙසු බන්ධනාගාර රැඳවූවන්ගෙන් සහ බාහිරව එල්ලවිය හැකි බලපෑම්වලින් ආරක්ෂා කිරීම වෙනුවෙන් ආරක්ෂිත අත්අඩංගුවේ තැබීමට කැනඩා පොලීසිය පියවර ගෙන ඇත.

    ‘මම ඔහුගේ පවුලේ අය සමඟ සම්බන්ධ වෙමින් ඉන්නේ. ඔවුන් පැහැදිලිවම ඉතාම කලබල වී වෙලා ඉන්නේ.’ ඉවාන් ලිට්ල් උසාවියෙන් පිටතදී වාර්තාකරුවන්ට පැවසීය. ඔහු ආරක්ෂිත අත්අඩංගුවේ පසුවන බව පවසමින් නීතිඥවරයා පැවසුවේ ‘එයා හොඳින් ඉන්නවා.’ යනුවෙනි.

    මෙහිදී මාධ්‍යවේදීන් නීතිඥවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ සැකකරුට මානසික සෞඛ්‍ය තක්සේරුවක් අපේක්ෂා කරන්නේද යන්න පිළිබඳව ය. නීතිඥයා ඊට අදහස් නොදැක්වූ අතර ඒ පිළිබඳ හෙළිදරව් කිරීම පිළිබඳ සමාලෝචනය ‘සමහරවිට මෙතැන් සිට මාස කිහිපයකින්’ සිදුවනු ඇති බවට පැවසීය.

    ඔටාවා තදාසන්න ප්‍රදේශයේ බෙරිගන් ඩ්‍රයිව්හි දෙමහල් නිවසක් තුළ එකම පවුලේ මව, ඇගේ කුඩා දරුවන් හතර දෙනා සහ එම නිවසේ මෙම තරුණයා ද සමඟින් බිම්මහලේ නැවතී සිටි තවත් පුද්ගයකු පසුගිය 6 වන දින ඝාතනය කර තිබුණි.

    දරුවන්ගේ පියා ද සැකකරුගේ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ නමුත් දිවි ගලවාගෙන ඇති අතර රෝහල්ගත කරන ලද්දේ පොලීසිය විසිනි.

    කැනඩා පොලීසිය මේ පිළිබඳ මුලින් පැවසුවේ සමූහ වෙඩිතැබීමක් වුවත් පසුව එය පිහියක් වැනි ආයුධයකින් කරන ලද සමූහ ඝාතනයක් බවට නිවැරදි කරන ලදී.

    ඇතැම් වාර්තා පවසන්නේ මෙම ඝාතන දඩයම් පිහියකින් කරන ලද්දක් බවයි.

    සැකකාර තරුණයා වසර කිහිපයක සිටි කැනඩාවේ ශිෂ්‍යයකු ලෙස වාසය කර ඇත.

    සැකකරු මෙම පවුල සමඟ වාසය කිරීමට පටන්ගත්තේ කොයි කාලයේ සිට ද යන්න කැනඩා පොලීසිය හෙළිකර නැත.

    කෙසේවෙතත් මොහු විසින් ඝාතනයට ලක්කරන ලද පවුල ඔහුට සළකා ඇත්තේ සිය පවුලේ හිතවතකුට මෙන් බවට වන ප්‍රකාශ කැනඩා මාධ්‍ය වාර්තා කර තිබුණි.

    ඝාතනයට ලක්ව ඇත්තේ කැනඩාවට අලුතින් පැමිණි ශ්‍රී ලාංකිකයින් වන අතර, ඔවුන් 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායක සහ ඇගේ දරුවන් සිව්දෙනා ලෙස හඳුනාගත් 7 හැවිරිදි ඉනුකා වික්‍රමසිංහ, 4 හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ, 3 -හැවිරිදි රනන්‍යා වික්‍රමසිංහ සහ මාස දෙකක් වයසැති කෙලී වික්‍රමසිංහ යන අයයි.

    එම නිවසේ සැකකාර තරුණයා සමඟ බිම්මහලේ නැවතී සිටි 40 හැවිරිදි ගාමිණී අමරකෝන් අමරකෝන් මුදියන්සේලාගේ නමැති හයවැනි පුද්ගලයා ද මියගිය අය අතර වේ.

    මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා සහ දරුවන්ගේ පියා ධනුෂ්ක වික්‍රමසිංහ බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කළ නමුත් ඔහුගේ තත්ත්වය ස්ථාවර බව සැලකේ.

    මෙම සමූල ඝාතනය ඔටාවා නගර ඉතිහාසයේ සිදුවූ බිහිසුණුතම සමූල ඝාතනය බවට කැනඩා බලධාරීන් මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.