පාසල් ශ්‍රේණි සංඛ්‍යාව 13 සිට 12 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බව යෝජිත අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළිදක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ ඒ අනුව යෝජිත සෑම දරුවෙකුටම අවුරුදු 17න් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සැලසෙනු ඇති බව ය.
එමෙන්ම පෙර පාසැල් අධ්‍යාපනය වයස අවුරුදු 04 දීත්, ප්‍රාථමික අංශය 01 ශ්‍රේණිය සිට 05 ශ්‍රේණිය දක්වාත්, වර්ගීකරණය කර තිබේ.
කනිෂ්ඨ අංශය 06-08 ශ්‍රේණිය දක්වාත්, ජ්‍යේෂ්ඨ අංශය 09-12 වන ශ්‍රේණිය දක්වාත් වර්ගීකරණයට ලක්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
ශිෂ්‍යත්ව විභාගය සඳහා පාසැල් පාදක ඇගයීම්වලින් යම් ප්‍රතිශතයක්ද, විභාග මගින් යම් ප්‍රතිශතයක්ද ලෙස ලකුණු ලබා දීමට යෝජනා කර ඇත.
එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදීත් උසස් පෙළ විභාගය 12 වසරේදීත් පැවැත්වීමටද යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙහි දැක්වේ.
එහිදී දැනට සාමාන්‍ය පෙළ සඳහා පවතින විෂයන් සංඛ්‍යාව 09 සිට 07 දක්වා අඩු කිරීමට ද තීරණය කර ඇත.
එම විෂයන් 07 ට තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය, තාක්ෂණික හා වෘත්තීය කුසලතා සහ ආගමික හා සාරධර්ම යන නව විෂයන් තුන හැදෑරීම අනිවාර්ය වනු ඇත.
වසරකදී සාමාන්‍ය පෙළ විභාගයෙන් 80,000 ක් පමණ අසමත් වන නමුත් නව ප්‍රතිසංස්කරණ තුළින් කිසිඳු දරුවෙකු අසමත් නොවන බවත් සියලු දරුවන්ට වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාව සලසා දීමටත් යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
උසස් පෙළ විෂයන් ශාස්ත්‍රීය අධ්‍යයන හා වෘත්තීය අධ්‍යයන ලෙස කාණ්ඩ දෙකකට වර්ගීකරණය කොට සෑම දරුවෙකටම උපාධියක් ලබා ගැනීම දක්වා මාර්ගයක් සකස් කර ඇති බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.