ලොව දැවැන්තම පුද්ගලික පරිගණක මෘදුකාංග සමාගම වන මයික්‍රොසොෆ්ට් සමාගමේ සම-ආරම්භක මෙන්ම මේ වසරේදීත් ලෝකයේ ධනවත්ම 5 දෙනා අතර සිටින්නකු වන බිල් ගේට්ස් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පවත්වා තිබේ.
ඒ මේ දිනවල පැවැත්වෙන ඩුබායි දේශගුණ සමුළුව-2023 අතරතුරදී ය.
ගෝලීය අභියෝග සහ නිවර්තන කලාපය වෙනුවෙන් ලබාදිය හැකි නායකත්වය පිළිබඳ අවධානය යොමු කරමින් කෘෂිකාර්මික නවීකරණය, දත්ත පද්ධති, දේශගුණික විශේෂඥතාව, ආහාර සුරක්ෂිතතාව පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇත.
එමෙන්ම බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් පදනම හරහා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට සහය දීමට ද බිල් ගේට්ස් මෙහිදී ජනාධිපතිවරයා වෙත සහතික කර ඇත.
මෙහිදී ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාව දියත් කර ඇති හරිත වැඩපිළිවෙල පිළිබඳව බිල් ගේට්ස් වෙත කරුණු දක්වා තිබේ.
බිල් ගේට්ස් යනු ඇමරිකානු ව්‍යාපාරිකයෙක්, ආයෝජකයෙක්, දානපතියෙක් සහ ලේඛකයෙක් ද වේ. ඔහු මේ වනවිට ගෝලීය දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් මැදිහත්කරුවකු ලෙස ද ක්‍රියාකරයි.
මේ අතර මෙම සමුළුව අතරතුරදී රාජ්‍ය නායකයන් ගණනාවක් සමඟ ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිහිපයක් පවත්වා තිබේ.








