ලංකා ප්‍රිමියර් ලීග්-2023 (LPL) ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගය හෙට (30) රාත්‍රියේ කොළඹදී ආරම්භ වේ.
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරයන්ගේ කුසලානය, ඉවත දමන ලද ඇලුමීනියම් කෑන් ප්‍රතිචක්‍රීකරණය කොට උණුකිරීමෙන් ලබාගන්නා ලෝහ ද මිශ්‍ර කරමින් සකස් කර තිබීම විශේෂත්වයකි.
රට පුරා වසර 3ක පමණ කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරන ලද මෙල්ටින් පොයින්ට් ව්‍යාපෘතියෙහි ‘ලස්සන වෙරළ’ වැඩසටහන ඔස්සේ වෙරළේ අවිධිමත් ලෙස බැහැර කර ඇති ඇලුමීනියම් කෑන් එකතු කරගනිමින් ඒවා දුම්රිය මගින් පිළිමතලාව කම්හල වෙත ගෙන ගොස් එහිදී ඇලුමීනියම් දියර බවට පත්කොට මෙම අපූරු නිර්මාණ සිදුකර ඇත.
දැනටමත් මෙලෙස ඉවතලන ලෝහ සහිත දෑ ප්‍රතිචක්‍රීකරණය කොට විස්මිත නිර්මාණ සිදුකිරීමෙහි මෙම ව්‍යාපෘතිය සමත්වී ඇති අතර, එම භාණ්ඩ සඳහා දෙස් විදෙස් විශාල වෙළඳපොළ ඉල්ලුමකට ද හිමිකම් කියනු ලබයි.
කෙසේවෙතත් මෙවර LPL තරගාවලියේ ශූරයන්ගේ කුසලානය නිර්මාණය කිරීම සඳහා එලෙස වෙරළටට බැහැර කරන ලද ඇලුමීනියම් කෑන් 2532ක් භාවිත කර තිබේ.
ශ්‍රී ලංකාවටම ආවේණික වූ කැටයම්වලින්, විස්මිත නිර්මාණකරුවන්ගේ දෑතින් නිර්මාණය ලද, ප්‍රතිචක්‍රීකරණය කරන ලද ලෝහවලින් සැකසූ, ජාත්‍යන්තර ක්‍රිකට් ලෝකයට දායාද කරන ලද ලොව එකම කුසලානය මෙය වනු ඇත.
ලංකා ප්‍රිමියර් ලීග්-2023 (LPL) ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගය හෙට (30) රාත්‍රී 7.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.
ඒ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතරයි.
ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තිසර පෙරේරා විසින් මෙහෙයවනු ලබන අතර කළම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට නිරෝෂන් දික්වැල්ල නායකත්වය ලබා දේ.
එම කණ්ඩායම් දෙක පිළිවෙළින් පසුගිය වර ශූරයන් සහ අනුශූරයන් ය.
තරගාවලියට සහභාගි වීමට නියමිත විදෙස් ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් මේ වනවිටත් දිවයිනට පැමිණ ඇත.
ඔවුන් පසුගිය දින දෙක තුළ පටන් පුහුණුවීම් ආරම්භ කර තිබේ.
මෙවර පැවැත්වෙන්නේ එල්පීඑල් 4 වෙනි තරගාවලියයි.
පසුගිය අවස්ථා තුනේදීම ශූරයන් බවට පත්වූයේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමයි.
තරගාවලිය සඳහා කණ්ඩායම් 5 ක් සහභාගි වේ.
මූලික වටය සහ අවසන් වටය ලෙස අදියර දෙකක් යටතේ තරගාවලිය පැවැත්වේ.
හෙට ආරම්භ වන මූලික වටය අගෝස්තු 15 වැනිදා අවසන් වීමට නියමිතය.
අවසන් වටය අගෝස්තු 17 වැනිදා ආරම්භ වේ.
මූලික වටයට අයත් තරග 20 න් තරග 12 ක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ද, තරග 8 ක් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වීමට නියමිත ය.
අවසන් වටයේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මූලික වටයේදී එක් දිනකදී තරග දෙක බැගින් පැවැත්වෙන දින 8 ක් තරගාවලියට ඇතුළත් ය.
මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන හතර හිමිකර ගන්නා කණ්ඩායම් හතර අවසන් වටයට සුදුසුකම් ලබයි.
ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක හිමි කරගත් කණ්ඩායම් දෙක ඔවුනොවුන්ට එරෙහිව තරග වැදීමට නියමිත ය.
එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සෘජුවම අවසන් මහා තරගයට තේරී පත්වේ.
අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි සහ සිව්වැනි තැන හිමිකර ගන්නා කණ්ඩායම් දෙක ඔවුනොවුන්ට එරෙහිව තරග වදී.
එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම පළමු තරගයෙන් පරාජය වන (ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවන ස්ථානවල රැඳී සිටි) කණ්ඩායම සමග තරග කරයි.
ඉන් ජයගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.