ඉතා සුළු ටයිප් කිරීමේ දෝෂයක් හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපද හමුදාවට අදාල ඊමේල් පණිවුඩ මිලියන ගණනක් රුසියානු මිත්‍ර රටක් වන මාලි රාජ්‍ය වෙත යවා ඇති බවට පෙන්ටගනය අනාවරණය කළේය.
ඒ අනුව එක්සත් ජනපද හමුදාවේ “.mil“ ඩොමෙන් නාමය වෙනුවට වසර ගණනාවක් “.ml” ඩොමේන් නාමය වෙත ඊමේල් පණිවුඩ යවා ඇති බවට අනාවරණය වී තිබේ.
මෙලෙස යැවූ ඇතැම් ඊමේල් පණිවුඩ තුළ මුරපද හෙවත් පාස්වර්ඩ් සහ ඉහළ හමුදා නිලධාරීන්ගේ ගමන් මාර්ග, වෛද්‍ය වාර්තා වැනි ඉතා සංවේදි තොරතුරු රැසක් අඩංගුවී තිබූ බවටද වාර්තා වේ. ඒ අනුව මේ වන අදාල අත්වැරදීම නිවැරදි කිරීමට පියවරගෙන ඇති බවද පෙන්ටගනය ප්‍රකාශ කළේය.
මෙම සිදුවීම පිළිබඳ මුලින්ම වාර්තා කළ Financial Times පුවත්පතට අනුව, නෙදර්ලන්ත අන්තර්ජාල ව්‍යවසායකයෙකු වන Johannes Zuurbier වසර 10 කට පෙර මෙම ගැටලුව හඳුනාගෙන තිබිණි.
2013 සිට, ඔහු සතුව මාලි රටේ ඩොමෙන් නාමයන් කළමනාකරණය කිරීමට කොන්ත්‍රාත්තුවක් ඇති අතර, මෑත මාසවලදී ඔහු විසින් වැරදි ලෙස යොමු කරන ලද ඊමේල් දස දහස් ගණනක් එකතු කරනු ලැබ ඇති බවද වාර්තා වේ.
මෙම කිසිඳු ඊමේල් පණිවුඩයක් රහසිගත පණිවුඩ ලෙස වර්ගීකරණය කර නොමැති බවද අදාල පුවත්පත වාර්තා කරයි.
කෙසේවෙතත් පුවත්පතට අනුව, එම ඊමෙල් පණිවුඩ තුල වෛද්‍ය දත්ත, එක්සත් ජනපද හමුදා පහසුකම්වල සිතියම්, මූල්‍ය වාර්තා සහ නිල සංචාර සඳහා සැලසුම් ලේඛන මෙන්ම සමහර රාජ්‍යතාන්ත්‍රික පණිවිඩ ඇතුළත් ව ඇත.
මෙහිදී Zuurbier අදාල සිදුවීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම සඳහා මේ මාසයේ එක්සත් ජනපද නිලධාරීන්ට ලිපියක් යොමුකර ඇති බවටද වාර්තා වේ.