Home උණුසුම් පුවත් අධ්‍යාපනයත් ඩිජිටල්කරණයට

අධ්‍යාපනයත් ඩිජිටල්කරණයට

අධ්‍යාපනයත් ඩිජිටල්කරණයට

රජය විසින් ක්‍රියාවට නංවා ඇති රාජ්‍ය හා සෙසු සේවා ඩිජිටල්කරණය කිරිමේ වැඩපිළිවෙළට අදාළව අධ්‍යාපන ක්ෂේත්‍රයට අයත් කොටස ක්‍රියාවට නැංවීමට අවශ්‍ය සැලසුම් මේ වන විට සකසා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ විද්‍යාපීඨ ගුරුපත්වීම් ප්‍රදානය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ දී අද පැවති ප්‍රධාන වැඩසටහනට එක් වෙමිනි.

එහි දී බස්නාහිර පළාත් හා ජාතික පාසල්වලට අදාළ ගුරු පත්වීම් 2355ක් ප්‍රදානය කිරීම ජනාධිපතිවරයාගේ හා අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර ඉතිරි විද්‍යාපීඨ පත්වීම් ප්‍රදානය කිරීම ද ඊට සමගාමී ව පළාත් පළාත් 8ක සිදු විය.

ඉදිරියේ දී මෙම විද්‍යා පීඨ ශික්ෂණ ඩිප්ලෝමාව සිව් වසරක් දක්වා දීර්ඝ කර උපාධි පාඨමාලාවක් දක්වා සංවර්ධනය කරන අතර දැනට ඩිප්ලෝමාව සම්පූර්ණ කළ ගුරුවරුන්ට එය උපාධියක් දක්වා වර්ධනය කරගැනීමේ අවස්ථාව සලසා දෙන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

ඒ සඳහා මීපේ පිහිටුවා ඇති දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය මගින් ඉදිරියේ දී ලබා දෙන පශ්චාද් උපාධි පාඨමාලා උපස්ථම්භක වන බවත් ජාතික අධ්‍යාපන ආයතනය හා ගුරු අභ්‍යාස විද්‍යාල වැනි අදාළ ආයතන සමග එක් ව එම වැඩසටහන් සංවිධානය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ශීඝ්‍රයෙන් දැනුම වර්ධනය වීමේ වේගය දෙගුණ වන ලොවක නව ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේද සමග ගළපාගත් තාක්ෂණය හා මුසු වූ කෘත්‍රීම බුද්ධි විෂය ඇසුරින් අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් හරහා 2030 වන විට සපුරාගත යුතු තිරසර ඉලක්ක හඹා යන ගුණාත්මක අධ්‍යාපනයක දරුවන් නිරත කරවීමේ නියමුවන් ලෙස අද පත්වීම් ලබන ගුරුභවතුන් අධ්‍යාපන පද්ධතියට පිළිගන්නා බව අමාත්‍යවරයා පැවසී ය.

දෛනික ව ආසන්න වශයෙන් දෙලක්ෂ පනස්දාහක් පමණ මෙරට උපත ලබන දරුවන්ගෙන් විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති ඉතා අතළොස්ස හැර සෙසු 99.5%ක ප්‍රතිශතය ම පාසල්ගත කිරීමට රටක් වශයෙන් අපට හැකි වී තිබේ.

ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කරන දරුවන් ප්‍රමාණය ද ඒ හා සමාන වන බවත් ඔහු සඳහන් කළේ ය.

මෙන් ම අනිවාර්ය අධ්‍යාපනය අවුරුදු 15 දක්වා ලබා දෙමින් සංවර්ධිත රටකට සමාන ප්‍රතිශතාත්මක අගයක් රඳවාගැනීමට ද අපට හැකියාව පවතින බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

පාසල්වල පවතින ගුරු හිඟය මගහැරවීම සඳහා කඩිනමින් මෙම පත්වීම් ලබා දීමට කැප වී ක්‍රියා කළ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට අමාත්‍යවරයා ප්‍රශංසාව පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here