Home උණුසුම් පුවත් ඉන්දියාවෙන් දෙන ඔත්තු බලන ගුවන්යානය ජනපතිට බාරදෙයි

ඉන්දියාවෙන් දෙන ඔත්තු බලන ගුවන්යානය ජනපතිට බාරදෙයි

ඉන්දියාවෙන් දෙන ඔත්තු බලන ගුවන්යානය ජනපතිට බාරදෙයි

ඉන්දියාවට අයත් වෙරළාරක්ෂක රාජකාරි සහ සමුද්‍ර නිරීක්ෂණ නෞකාවක් වන ඩෝනියර් 228 ගුවන් යානය ඉන්දීය බලධාරීන් විසින් අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී තිබේ.

සම්ප්‍රදායානුකූලව ජල විදින ආචාරය සමඟින් පිළිගන්නා ලද මෙම යානය  ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාරදීමට කටයුතු කෙරේ.

ඉන්දියාවෙන් ලද මෙම නවතම තිළිණය පිළිගන්නා ලද්දේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ⁣තවත් සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් උත්සවාකරයෙනි.

ඩෝනියර් 228 ගුවන් යානය ශ්‍රී ලංකාවේ ආරක්ෂාව ඉහළ නැංවීමට උපකාරී වනු ඇති බව ඉන්දියාව පවසයි.

ඉන්දියාවේ 75වන නිදහස් සමරුව ද අදට යෙදී තිබීම විශේෂත්වයකි.

මෙමගින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව අන්‍යෝන්‍ය අවබෝධය, අන්‍යෝන්‍ය විශ්වාසය සහ සහයෝගීතාවය ඉහළ නැංවෙන බව, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ගුවන් යානය තිළිණ කිරීමේ අවස්ථාවේ දී අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

“ඉන්දියාව සමඟ අනෙකුත් ක්ෂේත්‍රයන් සමඟ පවතින සහයෝගීතාවයේ ප්‍රතිලාභ මෙන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ඩෝනියර් ගුවන් යානය තිළිණ කිරීම ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වේ. එය ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සුරක්ෂිතතාවය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඉවහල් වන පියවරකි.

මෙය ඉන්දියාවේ ශක්තිය ඉන්දියානු සාගර කලාපය සහ බෙංගාල බොක්ක ආශ්‍රිත ශ්‍රී ලංකාව වැනි රටවල් ඇතුළු මිතුරන් සහ අසල්වැසියන්ගේ ශක්තීන්⁣ට එක් කිරීම සම්බන්ධයෙන් නිදසුනකි.” යැයි ද මෙරට ඉන්දියානු මහකොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා තිබේ.

වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම සමුද්‍ර නිරීක්ෂණ යානය ලැබෙන අතර තවත් යානයක් ඉන්දියාවෙන් ලැබීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here