fbpx
තවත්
    මුල් පිටුවspecialගෝඨාභයට වැරදුණේ කොතැන ද?

    ගෝඨාභයට වැරදුණේ කොතැන ද?

    ‘ගෝඨාභය වගේ කෙනෙක් මේ රට හදලාමයි ආපස්ස බලන්නෙ’ යැයි සිතු ජනතා සිතුවිලි අද වනවිට නැත්තටම නැතිවී තිබේ. එහෙත් ගෝඨාභය නම් කියන්නේ අසාර්ථක පාලකයකු ලෙස නොව සාර්ථක පාලකයකු ලෙස තමත්ගේ ජනපති තනතුර අත්හැරීමට සුදානම් බවයි. ගෝඨාභයට එහෙම කරන්න පුළුවන් ද ?

    ගෝඨාභයට ‘ගෝඨාභය’ නොවී කවදාවත් එසේ කළ නොහැකි බව දැනට සක් සුදක් සේ පැහැදිලිය. ඇත්තටම දැන් පෙනීයන සත්‍ය නම් ගෝඨාභය ආරක්ෂක අමාත්‍යාංශයේ දී සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ විෂයෙහි දක්ෂයකු වූයේ එදා ඔහු වටා සිටි පිරිස නිසාය.

    ජනපති වනවිට අඩුම තරමින් ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙන අවේ නම්, ගෝඨාභය මෙතරම් ඉක්මනට ජනතාව ඉදිරියේ අසාර්ථක පාලකයකු වන්නේ නැත. එය සිදුවුයේ ජනතාව සිහින මැවූ පූටින් ජනාධිපති මෙන් වන පාලකයකුගේ ගති ලක්ෂණවලින් ජනපති ගෝඨාභය වෙනස්වීමට යාම නිසාය.

    මට ඔයාලා ඉල්ලන ගෝඨාභය වෙන්න පුළුවන් හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය ඊට වඩා හොඳයැයි කියමින් ජනපති ගෝඨාභය නිතරම බැලුවේ ලංකාවේ සාම්ප්‍රදායක පාලකයකු වීමටය.

    ජනපතිවීමට පෙර සිටි ගෝඨාට බොහෝ දෙනෙක් කැමතිය. ඊට හේතුව ගෝඨා වැඩක් කිව්වා නම් කිව්වා. වැඩේ වෙනවා. බැන්නොත් බැන්නා. ගැහුවොත් ගැහුවා. වැනි අදහස නිසාය. නමුත් ගෝඨාට වැරුදුනේ තමන් දන්නා දේ මත නොව අනුන් දන්නා දේ මත යැපෙන්නට යෑම නිසාය. ජනපති ගෝඨාභයව ගොඩ දමන්න කිසිවෙකුටත් උවමනා නොමැති බව දැන දැනත් ගෝඨාභය ජනපතිවීමෙන් පසුව විශ්වාසය තැබුවේ තමන්වත් හරියට නොදන්නා පිරිසක් මතයි.

    ගෝඨා ජනපතිවීමට පෙර තම හිතවත් මාධ්‍ය වේදින් කිහිප දෙනෙකු අමතා රටේ තත්ත්වය සහ ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් ගත්තේය. ජනපති ගෝඨාගේ පෞද්ගලික ලේකම්වරයාගේ පටන් සියලු දෙනා පළමුව කළේ ගෝඨාභයට හිතවත් ඒ පිරිස මුලින්ම ඈත් කොට තැබීමයි. ඔවුන් ගෝඨාභය දේශපාලනික සත්ත්වයකු කිරීමට මාන බැලුවේය. කොටින්ම කියතොත් මාධ්‍ය අංශයේ සේවයට ගත්තේ ගෝඨාභය සමඟ යුද්ධය පැවැති සමයේ ළගින් ඇසුරු කළ පුද්ගලයන් නොවේ.

    ඉන් සිදුවූයේ ජනප්‍රිය මාධ්‍ය චරිත පැමිණෙන්න පැමිණෙන්න වැඩ බැරි ටාසන් කෙනෙකු වැඩ හැකි ටාසන් කෙනෙකු කිරීමට උත්සාහ ගන්නවා වැනි හැඟිමකි. ගෝඨාට පුරුදු අණ දී නිසා, ගෝඨා සිතුවේ ශවේන්ද්‍ර ලවා ඒ අණ ක්‍රියාත්මත කිරීමෙන් වැඩේ පහසුවන බවකි.

    එහෙත් ගෝඨාභයටත් නොදැනිම දේශපාලන අධිකාරිය ගෝඨාභයට ඉහළින් ගියේය. කොටින්ම තම සහෝදරයා මහින්ද සහ ඔහුගේ පවුලේ උදවියවත් ගෝඨා ජනපති වී සිටිනවාට අකමැති බව ගෝඨා දැන සිටියේ නැත. ඒ නිසා වැල යන අතට හෝයියා මෙන් ගෝඨා කළේ සියලු දෙනා සතුටින් තැබීමට උත්සාහ කිරීමයි.

    ඒ නිසා සිදුවූයේ මෙරට සීනි වංචා, සුදු ලූණු වංචා ආදි විවිධ වංචාවලටත් ආණ්ඩුවට චෝදනා නැගෙද්දී ඊට ජනතාව බලාපොරොත්තුවන සාධාරණ තීන්දුවක් නොලැබීමයි. ආණ්ඩුව කලමනාකරණය කිරීමට පත් කර ගත යුත්තේ කවුද ? යන්න ගැන පවා ගෝඨාභයට අදහසක් නොවීය. මේ නිසා අදටත් හෙට සිදුවන්නේ කුමක්දැයි අද ගෝඨාභය අදහසක් නොතිබීම පුදුමයක් වන්නේ නැත.

    මෙරට කුප්‍රකට ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් ගෝඨාභය හොඳටම ඇන්දුවේය. පත්තර මුද්‍රණය කරමින් ගෝඨාභය ගොඩදමන බව කී එක් ව්‍යාපාරිකයෙක් ජවිපෙ සහ එජාප හිතවත් මාධ්‍යවේදීන් ගෙන පුවත්පත් මුද්‍රණය කරමින් ගෝඨාභයට එළවා එළවා පහර දුන්නේය. ගෝඨාට හිතවත් මාධ්‍යවේදීන් නැතිවුණේ එතැනය. එදා ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය තරමේවත් මාධ්‍ය ඒකකයක් තිබුණේ නම් ගෝඨා ගොඩයන්නේය. එහෙත් එවැන්නක් සිදුවූයේ නැත. තමන්ට උදව් කළ ව්‍යාපාරිකයන් කොතෙකුත් සිටියදී කසල ගොඩවල් ලංකාවට ගෙනා ව්‍යාපාරිකයන්ට ඇමතිකම් දුන්නේය.

    ගෝඨාභයගෙන් මුළු මිනිස් සමාජයට නැවත නැවතත් ලැබෙන පාඩම නම් තනතුරු වරදාන ලැබෙනවිට තමා ඕනෑවට වඩා වෙනස් විය යුතු නැති බවයි. තමන් සිටි දැඩි ප්‍රතිපත්ති සමාජ යහපත වෙනුවෙන් යෙදවීමේ හැකියාව තිබුණේ නම් ගෝඨාභය තවමත් සාර්ථක පාලකයෙකි. ගෝඨාභය සමානයි හමුදාව නම්. ගෝඨාභය නායකයකු වන්නේ හමුදාව සමඟ ඉදිරියට යෑම තුළ පමණි.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. ජනාධිපති තුමාට තවත් පරක්කු වෙලා නැහැ! වාසනාවන්ත කමකට තීරණය ගැනීමට බලය තියෙන නිසා.
      සීනි , සුදුළූණු සහ විවිධ භාණ්ඩ වංචා කරුවන් ගෙන දන්න නිසා.
      සම්බන්ද වූ අමාත්‍යවරුන් සහ බලධාරීන් වංචනික සියදෙනාටම බලය පාවිච්චි කරලා වංචනික ලෙස හම්බකර මුදල් කුමන මාර්ගයෙන් භාණ්ඩාගාර ගිණුමට තැන්පත් කරන්න නියෝග කරන්න.
      භාණ්ඩාගාර ශක්තිමත් කිරීමෙන් රටේ සියලුම ප්‍රශ්න අවසන්ය.
      සාර්ථක ප්‍රතිඵල දුන් රටේ නායකයා ලෙස ඕනෑම තීරණයක් ගන්න පුළුවන්.

    Leave a Reply to Perumal GnanapragasomCancel reply