තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්රත්මලාන මොරටුව හොල්ලපු ‌‌‌‌ගෝනාකෝවිලේ රාජා වෙඩි කෑ හැටි

    රත්මලාන මොරටුව හොල්ලපු ‌‌‌‌ගෝනාකෝවිලේ රාජා වෙඩි කෑ හැටි

    ඩුබායි හී රැදී සිටිමින් රත්මලාන සහ මොරටුව හොල්ලාගෙන සිටින මත් කුඩු ජාවාරමේ නිරත පාතාලයේ ප්‍රබලයෙක් වන කුඩු අංජුගේ ප්‍රධාන වෙඩික්කරුවා බව කියන ගොනාකෝවිලේ රාජා නැමැති පාතාල අපරාධකරු පොලීසිය සමග ගැටී ඊයේ (07) අළුයම මරුමුවට පත්විය.

    පතිරණලාගේ රාජා විමලධර්ම (50) නැමැති එම පාතාල අපරාධකරු පොලීසියට වෙඩි තැබූ බවත් ඊට පොලීසිය එල්ල කළ ප්‍රතිප්‍රහාර වලින් ඔහු මරුමුවට පත්වූ බවත් පොලිස් මූලස්ථානය සදහන් කරයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා වන රංජන්ද සිල්වා මහතාට 2018 වසරේ මැයි 24 වෙනිදා රත්මලානේ ඥානෝදය මාවතේ පිහිටි නිවස ඉදිරිපිටදී වෙඩි තබා කළ ඝාතනයටද මෙම අපරාධකරුගේ සම්බන්ධයක් ඇතැයි හෙළිවී තිබේ. ඊට පෙර ද ඔහුගේ නම ඉදිරියේ මිනිස් ඝාතන කිහිපයක්ම ලියැවී ඇති බවත් ඒ අතර වාද්දූවේදී වෙඩි තබා කැලණි තිස්ස විදුලි බලාගාර සේවකයෙක් මරා දැමීමක්ද ඇතැයිපොලීසිය සදහන් කරයි.

    මිනුවන්ගොඩ බල්ලපාන ප්‍රදේශයේ නිවසක ඔහු තාවකාලිකව රැදී සිටින බව කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙසින් බස්නාහිර උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ මෙහෙයැවීමෙන් පෙරේදා (06) රාත්‍රිෙය් ඔහුව කොටුකර ගැනීමේ මෙහෙයුමක් දියත් කර තිබේ. ඒ සදහා කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට අමතරව පෑලියගොඩ දිසා අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ගෙන්ද සැදුම්ලත් කණ්ඩායමක් බල්ලපානේ නිවසට ගොස් එය වටලා ඇත. එම අවස්ථාවේදී සැකකරු නිවස තුළ සිට පොලිස් නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබෙන බවත් ඊට පොලීසිය ප්‍රති ප්‍රහාර එල්ල කර ඇති බවත් පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කරයි.

    එහිදී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පාතාල සැකකරු දිවුලපිටිය රෝහලට රැගෙන ගිය බවත් ඔහු ඒ වන විටත් මියගොස් සිටි බවත් පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කරයි. පොලීසියට ඔහු විසින් වෙඩි තැබීමට යොදා ගත් බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලයද පොලිස් භාරයට ගත් බව නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පැවැසීය.

    නිවසේ තිබී මරුමුවට පත්වූ මෙම පාතාල සාමාජිකයාගේ රුව ඇතුලත් විදෙස් ගමන් බලපත්‍රයක්ද තිබී ඇති අතර එම බලපත්‍රයේ නම සදහන්ව ඇත්තේ සම්පත් තෙන්නකෝන් ලෙසින් බව වරුණ ජයසුන්දර මහතා සදහන් කළේය. මෙම පුද්ගලයා බෝට්ටුවක නැගී ඉන්දියාවට පළායාමේ සැළසුමක් තිබුණු බවට තොරතුරුද ලැබී තිබුණු බව ඔහු කීය. බල්ලපානේ නවාතැන් ගෙන සිට ඇත්තේ ඉන්දියාවට පළායාමේ අරමුණින් විය හැකි බවද වරුණ ජයසුන්දර මහතා පැවැසීය.

    බුද්ධි අංශ සදහන් කරනුයේ ධනංජය සිල්වාගේ පියාගේ ඝාතනයෙන් පසු කුඩු අංජුගේ මත්කුඩු සහ පාතාල ජාලයේ කළමනාකරු ලෙස සැලකෙන ධර්මසිරි සමග මොහුද ඩුබායි රටට පළාගොස් ඇති බවත් එහිදී ඇතිවුණු යම් මත ගැටුමක් හේතුවෙන් නැවත මෙරටට පැමිණ සිට ඇති බවත්ය. ඒ සම්බන්ධයෙන්ද පොලීසිය මේ වන විට විමර්ශනයක් සිදුකරන අතර රත්මලානේ හොටලයකට වෙඩි තැබීමට මොහුගේ සම්බන්ධයෙක් තිබුනේදැයි භාර සොයා බලන බවද පොලීසිය සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img