fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්මානව යුද්ධ පවා දිනවූ අපරාජිත දෙවියන්ගේ අවිය

    මානව යුද්ධ පවා දිනවූ අපරාජිත දෙවියන්ගේ අවිය

    ප්‍රෝටියන් උපාමාරු (Protean Manouvers) හෙවත් ප්‍රෝටියන් ක්‍රමවේද​ (Protean Methods)

    ග්‍රීක දේව කථාවලදී හමුවන දෙවි කෙනෙකු වන ප්‍රෝටියස් (Proteus) දෙවිවරයාගේ විශේශත්වය වන්නේ නිශ්චිත රූපයන් හෝ හැඩයක් නොමැති වීමයි. මේ නිසා ප්‍ර්‍ර්ටියස් දෙවිවරයාට විවිධ ස්වරූප වලින් වෙනස් ස්ථාන වලදී පෙනී සිටීමේ හැකියාව ලැබී තිබෙන බවත්, මේ හේතුවෙන් සතුරන්ට ප්‍රෝටියස් දෙවිවරයාව දැකීමට හෝ අල්වා ගැනීමට හෝ පරාජය කිරීමට නොහැකි වුනු බැවින් ඔහු සාර්ථක සහ අපරාජිත චරිතයක් ලෙස එම කථාවල දක්වා තිබේ. තවත් ආකාරයකින් දක්වන්නේ නම්,එය නිශ්චිත හැඩයක් නොමැති ඒක සෛලික සත්වයකු වන ඇමීබා (Amoeba) ක්‍රියාත්මක වන ආකාරයට සමාන කල හැක්කකි.

    නිශ්චිත ස්වරූපයක් හෝ හැඩයක් නොමැතිවීම යන්නට විවිධ ක්ශේත්‍රවලදී විවිධාකාරයෙන් අර්ථයන් ලබාදිය හැක​. නමුත්, සෑම දෙයකම නිශ්චිත ස්වරූපයක් සෙවීම මිනිසුන් නිතැතින් සහ සෑම විටකදීම සොයා දැනගන්නට උත්සාහ කරන දෙයකි. එය යම් සංවිධානයක නම් එහි සංවිධාන ව්‍යුහය​, ක්‍රියාමාර්ගයක නම් නිශ්චිත පියවර මාලාව​, කන්ඩායමක නම් නායකත්ව ධූරාවලිය සෙවීම මීට නිදසුන් වේ. මීට ආසන්නම හේතුව වන්නේ මිනිසුන් යම් දෙයක් වටහා හැනීමට දක්වන ඕනෑකමත්, අවිනිශ්චිතතාවයට දක්වන බිය සහ අකමැත්තත් වේ.

    මෙහි අනෙක් පැත්ත වන්නේ නිශ්චිතතාවය සහ ක්‍රමානුකූල භාවය ගැන නිරතුරු සොයාබලන සහ ඒ මත තම විශ්වාසය සහ ක්‍රියාමාර්ග රඳ පවත්වා ගැනීමට උත්සුක වන පුද්ගලයන් අතර සිටිනා එක් නිශ්චිත ස්වරූපයක් වෙනුවට එය අවස්ථානුකූලව සහ කඩිනමින් වෙනස් කල හැකි පරිදි නම්‍යශීලීව සහ නිරතුරු නිර්මානශීලීත්වයන් යුතු අයට ලැබෙන්නේ ඉමහත් වාසිදායක තත්වයකි. මිට හේතුව වන්නේ ග්‍රීක කථාවල එන ප්‍රෝටියස් දෙවියන් අබියසදී මෙන්ම ඔවුනට මෙසේ නම්‍යශීලී අයගේ ඉදිරි සැලසුම්, ක්‍රියාමාර්ග​, ඉදිරි පියවර මෙන්ම එවන් අය මෙහෙයවන්නාවූ සංවිධානයන් ක්‍රියාත්මක වන ආකාර​, ඒවායේ ව්‍යුහය සහ ඉදිරි පියවර පිලිඹඳව කල්තබා සිතාගෙන ඊට ප්‍රතිචාර සකස් කිරීමට නොහැකි නිසා එවන් අය හෝ සංවිධානයන්ට මුහුන දීමට නොහැකියාවක් ඇති වීමයි.

    මෙසේ කෙනෙකු හෝ සංවිධානයක් නිස්චිත ස්වරූපයකින් තොරව ක්‍රියාත්මක වීම විග්‍රහ කිරීමට ප්‍රෝටියන් උපාමාරු හෙවත් ප්‍රෝටියන් ක්‍රමවේද යන වදන් මවිසින් පබඳන ලද යෙදුම් වේ. මේ නිසා එම යෙදුම් අන්තර්ජාලයේ සෝදිසියකින් තොරතුරු නොලැබෙනු ඇත​. මෙය ඇතැම් අවස්ථාවන්හිදී යුධ උපක්‍රමයක් ලෙස මෙන්ම ක්‍රමෝපායක් ලෙසත් අනුගමනය කල අවස්ථාවන් හමුවේ.

    මහනුවර අල්ලා ගැනීමට 1803දී පැමිනි ආක්‍රමනික බ්‍රිතාන්‍ය හමුදාවලට එරෙහිව අපගේ හමුදාවන් පෙබරවාරි සිට ජූනි තෙක් සිව් මසක් තුල ගෙනගිය අඩු තීව්‍රතා සටන්ක්‍රම (Low Intensity Warfare) මීට අතීත නිදසුනකි. කුඩා කන්ඩායම් ලෙස වරින්වර බ්‍රිතාන්‍ය හමුදාවට හිරිහැර කරමින් සහ හානි කරමින් ගෙනගිය මේ සටන්වල නිශ්චිත ක්‍රමවේදයක්, රටාවක් හෝ පරමාර්ථයක් ඔවුනට සොයාගත නොහැකි වීමම එම සටන්වල සාර්ථකත්වය ගෙනහැර පාන්නකි.

    විසිවන සියවසේ පැවති පලමු සහ දෙවන ලෝක යුද්ධ දෙකේදී අප්‍රිකාවේ ක්‍රියාත්මක වූ ජර්මන් හමුදා දෙකේ නායකත්වය තම කුඩා හමුදාවන් මෙහෙයවූ ආකාරයන් මීට වඩාත් මෑතකාලීන සහ කදිම නිදසුන් වේ.

    පලමු ලෝක යුද්ධය සමයේදී නැගෙනහිර ආප්‍රිකාවේ ක්‍රියාත්මක වූ අපරාජිත ජර්මන් හමුදාවට න්න්‍යකත්වය දුන්නේ කර්නල් පෝල් වොන් ලෙටෝ-වෝබෙක් (Paul Von Lettow-Vorbeck) නම් නිලධාරියා තම කුඩා හමුදාව සතුරාට හසු නොවන ආකාරයට විවිධ ස්වරූප වලින් ක්‍රියාත්මක කරවූ ආකාරය මීට හොඳම නිදසුන වේ. මෙම ක්‍රමවේද කොතෙක් සාර්ථක වූයේද යත්, බ්‍රිතාන්‍ය හමුදාවන්ට නායකත්වය දුන් ඉතා දක්ශ හමුදා නායකයෙකු වූ ජෑන් ස්මට්ස් (Jan Smuts) සෙනෙවියා නායකත්වය දුන් විශාල හමුදාව අකර්මන්‍ය තත්වයට පත් කිරීමට කර්නල් ලෙටෝ-වෝබෙක් සමත්විය​. නමුත්, මෙම අතිදක්ශ පුද්ගලයා හෝ ඔහුගේ ක්‍රමවේද පිලිඹඳව වර්තමානයේදී කිසිම සඳහනක් නොවීම කනගාටුවට හේතුවකි.

    Paul Von Lettow-Vorbeck
    Jan Smuts

    දෙවන ලෝක යුද්ධ සමයේදී උතුරු අප්‍රිකාවේ ජර්මන් හමුදාවන්ට නායකත්වය දුන් ෆීල්ඩ් මාශල් අර්වින් රොමෙල් (Irwin Rommel) (තුන්වන ඡායාරූපය​) සෙනෙවියාද සිය අප්‍රිකානු සංග්‍රාමයේදී තම සාපේක්ශව කුඩා හමුදාව වෙන වෙනම ක්‍රියාත්මක වන ඒකක සතරකට වෙන්කර එම ඒකක වෙන්වෙන් රටාවලින් මෙහෙයවීම සිදුකරමින් බ්‍රිතාන්‍ය හමුදා අවිනිශ්චිත තාවයට ලක්කිරීමට සමත් විය​.

    Irwin Rommell

    ප්‍රෝටියන් උපාමාරු හෙවත් ප්‍රෝටියන් ක්‍රමවේදයන් අනුගමනය කල සහ එසේ ක්‍රියාකල ආයතන සහ හමුදාවන්ට නායකත්වය දුන් පුද්ගලයන් පිලිඹඳව විමසා බලන කල දුටු පොදු සාධකය වන්නේ ඔවුන් සියල්ලන්ම ඉතා නිර්මානශීලී සහ නම්‍යශීලී පුද්ගලයන් මෙන්ම ඉතා කඩිනමින් තීරන ගැනීමට මෙන්ම තම තීරනයේ වැරදිබවක් දුටු වහාම ඒවා නිවැරදි කිරීමට උත්සුක වූවන් වූ බවත් වේ. මේ පිලිඹඳව අවබෝධයෙන් සිටීම මෙන්ම​ මෙම ක්‍රමවේද හෝ උපාමාරු ජීවිතයේ විවිධ අවස්ථාවලදී ගතයුතු ක්‍රියාමාර්ග තීරනයේදී ඉතා වැදගත් වේ.

    ආචාර්ය ජගත් ගුණවර්ධන

    පාරිසරික නීතිඥයෙකු හා ක්‍රියාකාරිකයෙකු වන ජගත් ගුණවර්ධන මහතා දශක තුනක් පුරාවට ශ්‍රී ලංකාවේ වනජීවී, ශාක, සත්ත්ව විශේෂ සහ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා තම ජීවිතය කැප කර ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ආචාර්ය ජගත් ගුණවර්ධන
    පාරිසරික නීතිඥයෙකු හා ක්‍රියාකාරිකයෙකු වන ජගත් ගුණවර්ධන මහතා දශක තුනක් පුරාවට ශ්‍රී ලංකාවේ වනජීවී, ශාක, සත්ත්ව විශේෂ සහ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා තම ජීවිතය කැප කර ඇත.

    1 Comment

    Leave a Reply to සත්‍යගවේෂීCancel reply