Home උණුසුම් පුවත් ගිනිගත් නැව ගැඹුරු මුහුදට ඇදගෙන යාමට ජනපති නියෝගයක්

ගිනිගත් නැව ගැඹුරු මුහුදට ඇදගෙන යාමට ජනපති නියෝගයක්

ගිනිගත් නැව ගැඹුරු මුහුදට ඇදගෙන යාමට ජනපති නියෝගයක්

කොළඹ වරායට ආසන්න මුහුදේ දී ආපදාවට ලක් වූ “එක්ස් – ප්‍රෙස් පර්ල්” නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.

ඒ අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති විශේෂ හමුවේදී ය. ආපදාවට ලක්වූ නෞකාව මුහුදුබත්වීමේ අවදානමක් පවතින බව නාවුක සහ පරිසර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නියෝජිතයෝ පෙන්වා දුන්හ. එසේ වුවහොත් සමුද්‍රීය පරිසරයට සිදු විය හැකි හානිය අවම කරගැනීමට නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාම සුදුසුම පියවර බව ඔවුන්ගේ යෝජනාව විය.

මැයි මස 09 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 19 වනදා කොළඹ වරාය ආසන්නයට නෞකාව පැමිණීම දක්වා සියලු තොරතුරු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අනාවරණය කළේය.

ඒ අනුව තාක්ෂණික කාරණා පදනම් කර ගනිමින් නීතිපතිවරයාගේ ද උපදෙස් මත, සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිට ඇති බලතල ප්‍රකාරව නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට වහාම නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබිණ.

ගනු ලබන තීරණය තාක්ෂණික කරුණු මත පමණක් පදනම් විය යුතු බව සහ දේශපාලන කාරණා ඒ සඳහා අදාළ කර නොගත යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, නාලක ගොඩහේවා, නීතිපති සංජය රාජරත්නම්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු, නාවුක හා ගුවන් හමුදාපතිවරු, වරාය, සමුද්‍ර ආරක්ෂණ අධිකාරිය, නාරා ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here