Home උණුසුම් පුවත් අන්තෝනි බාලිකාවේ අවදානම් ගොඩනැගිල්ල ගැන වාර්තාවක් කැඳවයි

අන්තෝනි බාලිකාවේ අවදානම් ගොඩනැගිල්ල ගැන වාර්තාවක් කැඳවයි

අන්තෝනි බාලිකාවේ අවදානම් ගොඩනැගිල්ල ගැන වාර්තාවක් කැඳවයි

(සටහන සහ ඡායාරූප: නදීක දයා බණ්ඩාර-මහනුවර)

පංති කාමර කිහිපයක් ඉරිතැලීමෙන් අවදානම් තත්ත්වයට පත් කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් වාර්තාවක් කැඳවීමට තීරණය වී තිබේ.

දැරියන් 600ක් පමණ ඉගෙනුම ලබන එම ගොඩනැගිල්ලේ පංති කාමර කිහිපයක හදිසි ඉරිතැලීම් දක්නට ලැබී ඇත.

මේ හේතුවෙන් එහි ඉගෙනුම ලබන 08, 09 හා 11 වසරවල දැරියන් සඳහා පාසල් පරිපාලනය මගින් නිවාඩු ලබාදී තිබේ.

පංති කාමර 11කින් පමණ සමන්විත එම ගොඩනැගිල්ල මේ වනවිට වසා දමා ඇත.

මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් එම ස්ථානය ක්ෂේත්‍ර නිරීක්ෂණය කර ඇත.

ඒ අනුව අවදානම් සහිත ගොඩනැගිල්ල සම්බන්ධයෙන් වාර්තාවක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් ලබා ගැනීමට නියමිත යැයි ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පවසයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරී මඩුල්ලක් අද එම ගොඩනැගිල්ල නිරීක්ෂණය කළ බවත් නුදුරේදී ඒ සම්බන්ධ වාර්තාව ලැබෙන බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් මහතා පැවසීය.

අවදානම් තත්ත්වය හේතුවෙන් පංති අහිමි වන දැරින්ට ඊට නුදුසු රිෂිකලා සෞන්දර්යය විද්‍යාලය හා මාවිල්මඩ විදුහලේ අධ්‍යාපනය ලැබිමට අවස්ථාව ලබා දෙන බව ද අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා තව දුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here