Home උණුසුම් පුවත් මහනුවර ඇසළ පෙරහරේ කප් කැපීම හා වැඩම කිරීම අලුත්නුවරදී

මහනුවර ඇසළ පෙරහරේ කප් කැපීම හා වැඩම කිරීම අලුත්නුවරදී

මහනුවර ඇසළ පෙරහරේ කප් කැපීම හා වැඩම කිරීම අලුත්නුවරදී

|නදීක දයා බණ්ඩාර – මහනුවර|

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කප කැපීම සහ සෙංකඩගල පුරවරය දක්වා කප වැඩම කිරීම අද (28) අලුයම අලුත්නුවර දී සිදුවිය.

මහනුවර විෂ්ණූ දේවාලය හා අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය ඒකාබද්ධව අලුත්නුවර ප්‍රදේශයේ තෝරා ගත් කිරි සහිත ඵල නොදැරූ ගසක් රිදී පොරවකින් කැපීම මෙහිදී සිදුවිය.

මහනුවර සිව් මහා දේවාලයන්හිදී සිදුකරන කප් සිටුවීම සඳහා කප සූදානම් කිරිමේ කාර්යය භාරය පැවරී ඇත්තේ අලුත්නුවර විෂ්ණු දේවාලයටය. ඒ අනුව මහ දේවාලය පිහිටි ප්‍රදේශයේ නැගෙනහිර දිශාභිමුඛව පිහිටන ඵල නොදැරූ පනස වෘක්ෂයක් එනම් ළපටි කොස් ගසක් මේ වෙනුවෙන් වෙන් කර ගනිති.

තෝරාගත් ගස වටා පිරිසිදු කොට තිර ඇද, ගස සුවද පැනින් නාවා, සුවද දුම් අල්වා සුභ මූර්තියෙන් ගස නැගෙනහිර දිශාවට වැටෙන සේ කපා හෙළීම සිදුකරයි.

මහනුවර විෂ්ණූ දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතා විසින් වන්නක්කු රාළ වෙත රිදී පොරව භාර දී පනස වෘක්ෂය කැපීම සදහා අවසරය ලබා දෙන ලදි.

මහා සංඝරත්නයේ පිරිත් සඤ්ඤායනය අතරතුර පනස වෘක්ෂය කැපිණි.

අනතුරුව සකස් කරන ලද එම කප සුදු රෙදි කඩින් ඔතා සුදු උඩු වියන් සහිත මහ පෙරහරින් මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලය කරා ඇතු පිටින් වැඩම කිරිම සිදු වේ.

අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයේ තේවාව භාර දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා, විදානේ රාළ වන වරුණ බණ්ඩාර මහතා, ප්‍රධාන කපුරාළවන තිස්ස දසනායක මහතා මේ අවස්ථාවට එක්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here