2015 ජනාධිපතිවරණ සමයේදී කහවත්තේ පැවති මැතිවරණ ප්රචාරක රැලියක් අතර තුර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවකට ලක්ව රත්නපුර මහාධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම වූ පොදුජන එක්සත් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝගකර තිබේ.
රත්නපුර මහාධිකරණය විසින් තමන්ට ලබාදුන් මරණ දඩුවම අහෝසිකර නිදොස්කොට නිදහස් කරන්නැයි ඉල්ලා ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා විසින් ඉදිරිපත් කළ අභියාචනාව සලකා බැලූ බන්දුල කරුණාරත්න, ආර්.ගුරුසිංහ මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව අද ලබාදුන්නේය.
ප්‍රේමලාල් ජයසේකර මහතා සමඟ නිදොස් කොට නිදහස් වූයේ සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන මහත්වරුන්ය.
විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා එදා සහභාගිවූ මැතිවරණ ප්රචාරක රැලියකදී සිදුවූ එම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙක් මියගොස් දෙදෙනෙක් තුවාල ලැබීය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව රත්නපුර මහාධිකරණය විසින් තීන්දුව ප්‍රකාශයට පත්කරනුයේ 2020 ජුපි 31 වෙනිදාය. ඒ වන විට මහා මැතිවරණයට රත්නපුර දිස්ත්‍රික්කයෙන් පොදුජන එක්සත් පෙරමුණේ අපේකෂකයෙක් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා මැතිවරණයෙන් ඉහළම මනාප ලබාගෙන පාර්ලිමේන්තුවට තේරීපත්වන්නේ බන්ධනාගාරගතව සිටියදීය.
එම වෙඩිතැබීම සිදුවූ අවස්ථාවේදී විත්තිකරුවන් අත ගිනි අවි තිබූ බවට සහ ඔවුන් වෙඩි තැබූ බවට සාක්ෂි ඉදිරිපත් වී නැතැයි තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න මහතා සඳහන් කළේය.
විත්තිකරුවන්ට අදාල චෝදනා ඒ අනුව රත්නපුර මහාධිකරණය හමුවේ සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වී නොමැති බව ද විනිසුරු බන්දුල කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.