පොලිස් කාන්තා නිලධාරීන්ට මාස 10 කට වරක් ලැබිය යුතු පාවහන් වසර දෙකක් තිස්සේ තවමත් ලැබී නැත.
මේ බව අනාවරණය වන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පොලිස් ස්ථානවලටම ගොස් කෙරෙන සොයා බැලීම්වලිනි.
කාන්තා නිලධාරිනියන් රාජකාරියේදී මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන්ද එහිදී ඇමතිවරයා දැනුවත් වී තිබේ. නිසි කලට පාවහන් නොලැබීම හේතුවෙන් ඇතැම් නිලධාරීනියන් සිය පුද්ගලික මුදල් වලින් පොලීසියේ පාවහන් වලට සමාන පාවහන් සකසාගෙන භාවිතා කරන බවත් වැඩි දෙනෙක් හානි වූ පාවහන් පැලද රාජකාරියේ නිරතව සිටින බවත් කාන්තා නිලධාරීන් පවසන්නීය.
පොලීසියේ කාන්තා නිලධාරීන් 8000 ක් පමණ පිරිසක් සේවයේ නිරතව සිටින්නීය. වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිනියක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනියන්, පොලිස් අධිකරිනියන් , සහකාර පොලිස් අධිකාරිනියන් සැලකිය යුතු පිරිසක් ද ඒ අතර සිටින්නීය. ඒ සියළු දෙනාටත් වසර දෙකකින් පාවහන් ලැබී නැති බව පොලිස් කාන්තා නිලධාරිනියන් සදහන් කරන්නීය.
මේ ගැටළුව ගැන එතෙක් ඇමතිවරයා දැනුවත්ව සිට නැති අතර ඒ මොහොතේම පොලීසියේ සැපයුම් අංශ භාර ඉහළ නිලධාරීන්ගෙන් කරුණු විමසා තිබේ. එවිට අනාවරණය වී ඇත්තේ කාන්තා නිලධාරීන්ට බෙදා දීමට මිලදී ගත් පාවහන් ගබඩාවල ඇති බවය. එම පාවහන් බෙදා නොදෙන්නේ ඇයි දැයි ඇමතිවරයා විමසීමේදී ඔවුන් පවසා ඇත්තේ අවසාන තත්ව පරීක්ෂාවන් නිමවන තෙක් බෙදා නොදුන් බවය. එහිදී ඇමතිවරයා සදහන්කර ඇත්තේ වහාම එම පාවහන් නිලධාරිනියන්ට බෙදා දීමට පියවර ගන්නා ලෙසය.