තවත්
    මුල් පිටුවදේශීය පුවත්හරක් කටාගේ මත්කුඩු ගොඩට ගේන මහ මොළයක් අල්ලයි

    හරක් කටාගේ මත්කුඩු ගොඩට ගේන මහ මොළයක් අල්ලයි

    එක්සත් එමීර් රාජ්‍යයේ සැඟව සිටිමින් මහා පරිමාණයෙන් මත්කුඩු ඡාවාරමේ නිරතව සිටින හරක් කටා නැමැති ඡාවාරම්කරුගේ මත්කුඩු මහා මුහුදේ සිට ගොඩබිමට රැගෙන එන ප්‍රධාන පෙළේ බෝට්ටුකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමත්ව ඇත.

    කොට්ටේගොඩ පදිංචිකරුවෙක් වන එම බෝට්ටුකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (03) ය.

    හරක් කටා එක්සත් එමීර් රාජ්‍යයේ සිට පකිස්තානු මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ට ඇණවුම් ලබාදීමෙන් පසු එම මත්කුඩු තොග ඉරාන් ජාතිකයන් විසින් කුඩා නෞකාවකින් ශ්‍රී ලංකාවට නුදුරු ජාත්‍යන්තර මුහුදු තීරයට රැගෙන එන බවත් ඊයේ අත්අඩංගුවට ගත් බෝට්ටුකරු විසින් එම ජාත්‍යන්තර මුහුදු සීමාවට ගොස් එම මත්කුඩු තොග භාරගෙන ගොඩබිමට රැගෙන එන බවත් විමර්ශන වලින් හෙළිවී තිබේ.

    හරක් කටාගේ මත්කුඩු ඡාලය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයේදී ඉකුත් මැයි 30 වෙනිදා හරක් කටාගේ මත්කුඩු කිලෝ 100 කට වැඩි ප්‍රමාණයක් බහුදින යාත්‍රාවකින් මෙම බෝට්ටුකරු ගොඩබිමට රැගෙනවිත් ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනාවරණය වී ඇත. ඒ අනුව කෙරුණු දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම බෝට්ටුකරු සමග ජාත්‍යන්තර මුහුදු සීමාවට ගොස් මත්කුඩු තොගය භාරගත් බහුදින යාත්‍රාෙව් ගමන් කළ 06 දෙනෙක් මෙයට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ වන විට මෙම සැකකරු සැගවී සිට ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත්තේ ඊයේය.

    ජාත්‍යන්තර සීමාවට ගොස් එසේ මත්කුඩු තොග භාරගෙන ගොඩබිමට රැගෙන එනවා වෙනුවට ඔහුට සහ ඔහුගේ යාත්‍රාෙව් කණ්ඩායමට බෙදා ගැනීමට හරක් කටාගෙන් රුපියල් කෝටියකටඉ ආසන්න මුදලක් ලැබී ඇති බවද විමර්ශශන වලින් පෙනී ගොස් තිබේ. එම මුදලින් රුපියල් ලක්ෂ 52 ක් කොට්ටේගොඩ නිවසේ සගවා තිබියදී පොලිස් මත්දුව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සොයාගෙන ඇත. මෙම පුද්ගලයා බහුදින යාත්‍රා ක්‍රියාකාරුවෙක් බවත් එදින එම යාත්‍රාව පදවා ඇත්තේ ඔහු විසින් බවටත් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

    මැයි 30 වෙනිදා ගොඩබිමට රැගෙනවිත් ඇත්තේ අයිස් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් බවටද විමර්ශන වලින් තොරතුරු අනාවරණය වී ඇත. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මෙම මත්කුඩු ඡාලයට සම්බන්ද තවත් සැකකරුවන් සොයා විමර්ශන පවත්වන බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img